ලාෆ්ස් ගෑස් සමාගම ඩොලර් මිලියන 16කට සිය බංග්ලාදේශ ගෑස් ව්‍යාපාරය අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලාෆ්ස් ගෑස් පීඑල්සී (LGL.X0000) සමාගම, සිය පරිපාලිත සමාගමක් ලෙස බංග්ලාදේශය තුළ පවත්වාගෙන ගිය ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් (LGBL) සමාගමේ 69%ක කොටස් ප්‍රතිශතයක් අලෙවි කිරීමට පියවර ගත් බව පවසයි.

එම සමාගම අද (15දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙම අලෙවියත් අද දිනයේදී සිදු කර ඇති අතර, එහිදී එම සමාගම මගින් සිදු කර ඇති සමස්ත කොටස් අලෙවිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,645,203ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 16.1ක (16,146,000ක) මුදලකට මෙම කොටස් අලෙවි කෙරී තිබේ.

මේ අතර ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් සමාගමේ අනෙක් කොටස් හිමිකරුවා වූ එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර ලියාපදිංචි Slogal Energy DMCC සමාගමත් එම සමාගම තුළ තිබූ 31%ක කොටස් හිමිකාරීත්වයද අලෙවි කර ඇතැයි ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම පවසයි.

එම කොටස් අලෙවියත් අද දිනයේදී සිදුව ඇති අතර, එහිදී අලෙවි කර ඇති කොටස් ප්‍රමාණය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,188,352කි. මෙහිදී එම අලෙවියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7.2ක් (7,254,000ක්) ලෙස සටහන්ව තිබේ.

මෙලෙස එම සමාගමේ කොටස් අලෙවිය හරහා හිමි වුණු මුදල් ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් සමාගම සතුව ඇති ණයබරතාව අඩු කිරීම සඳහා යොදා ගන්නා බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 279