DHL Express Sri Lanka දේශගුණික ආරක්ෂණය සඳහා ‘Pole 2 Pole challenge’ වෙත සහය දක්වයි

DHL Express Sri Lanka විසින් සුපිරිසිදු, හරිත වර්ණයෙන් පිරි, යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා, DHL Express ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කර ඇති ‘Pole 2 Pole challenge’ වෙත සහය දක්වමින් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් පසුගියදා පවත්වනු ලැබීය. වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන, මැරතන් ධාවනය, කාර්යාල වෙත පාපැදි මගින් ගමන් කිරීම සහ රුක් රෝපණ වැඩසටහන් ආදිය එම ක්‍රියාකාරකම් අතරින් කිහිපයක් විය.

මෙහි පළමු පියවර වශයෙන් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මේ සඳහා සමාගම් සේවකයින් 65 කට වැඩි පිරිසක් එක් වූ අතර ඔවුන් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් කිලෝග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සහිත වීදුරු, ප්ලාස්ටික් සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් එකතු කළේය.

ශාරීරික සුවතාවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරමින්, 100 කට වැඩි සේවකයින් පිරිසක් කිලෝමීටර් 4 ක පාගමනකට සහ මැරතන් ධාවනයකට සහභාගී විය. එම පාගමනකට සහ මැරතන් ධාවනය නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වී DHL කාර්යාල පරිශ්‍රයෙන් අවසන් කෙරිණි. මේ සඳහා සහභාගී වූ සියලුම දෙනා හට ඇගයීමේ සංකේතයක් ලෙස පදක්කම් ප්‍රධානය කිරීමට ද පියවර ගත්තේය.

මීට සමගාමීව, පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවම කිරීම සඳහා දායක විය හැකි ආකාරය ප්‍රදර්ශනය කරමින් සුපුරුදු ප්‍රවාහන විදි වෙනුවට පාපැදි භාවිතය පිළිබඳව ආදර්ශයක් ලබා දෙමින් DHL සේවකයින් 12 කට අධික පිරිසක් ‘කාර්යාලය වෙත පාපැදියෙන් පැමිණීම’ සිදු කෙරිණි.

සමාගම් සේවක සේවිකාවන් 45 දෙනෙකු ගාල්ල, නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ පැළ 120ක රුක් රෝපණය වැඩසටහනකට දායක වූ අතර එම පාසලේ දරුවන් සඳහා ආයුර්වේද වෛද්‍යවරයකුගේ සහභාගීත්වය යටතේ ඔසු පැලෑටි පිළිබඳ දේශනයක් ද පවත්වන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DHL Express Sri Lanka හි ප්‍රධාන විධායක කළමනාකරු දිමිත්‍රි පෙරේරා මහතා මෙසේ අදහස් පැවසීය.

”Pole 2 Pole challenge අපගේ තිරසාර වූ ක්‍රියාවන් සඳහා ශක්තිමත්ව දායකත්වය ලබා දෙනවා. සුපිරිසිදු, හරිත වර්ණයෙන් පිරි, යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා අපි බලපෑමක් ඇති කරන පිරිසක් බවට සනාථ කිරීම සඳහා ලොව පුරා සිටින අපගේ සගයන් සමඟ අප සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් විශාල කැපවීමක් මෙන්ම ත්‍රාසය හා අවදානම් සහිත ගමනක නියැලෙමින් Pole 2 Pole ධජය රැගෙන දක්ෂිණ ධ්‍රැවයට ළඟා වන සමාගම් සේවකයින් දෙපලක් වන රෝලන්ඩ් තෝමස් සහ ලිව් මාරිට් ස්ටර්න් හට ප්‍රබෝධමත් ගමනක් වෙනුවෙන් අප සුභ පතනවා.”

DHL Express Sri Lanka හි මානව සම්පත් ප්‍රධානී තාරක ද සිල්වා මහතා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ පැවසීය. ”Pole 2 Pole challenge වෙනුවෙන් අපි වැඩසටහන් මාලාවකට මුලපිරීමත් සමඟ අපගේ සගයන් පෘථිවියට සහ පරිසරය වෙනුවෙන් ලබා දිය යුතු අපගේ වගකීම කුමක්ද යන්න පිළිබඳව තේරුම් ගෙන සිටිනවා. කාර්ය බහුල ජීවිතය සෞඛ්‍ය සම්පන්නව සමබරව ගෙන යා යුතු ආකාරය පිළිබඳව ප්‍රවර්ධනය කෙරෙන ‘වැඩ කිරීමට සුදුසු, ජීවිතයට සුදුසු’ (Fit for Work, Fit for Life) යන තේමාව රැගත් අපගේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස Pole 2 Pole challenge ක්‍රියාකාරකම් පෙළගස්වා තිබෙනවා.”

DHL Pole 2 Pole Challenge හි අරමුණ වන්නේ දේශගුණික ආරක්ෂාව සඳහා උත්තර ධ්‍රැවයෙන් ආරම්භ වී දක්ෂිණ ධ්‍රැවයෙන් අවසන් වන Pole2Pole ධජය පසුකර යාම සඳහා ලොව පුරා සිටින සේවකයන්ගේ සහය ලබා ගැනීමය. මෙම අභියෝගය අවසානයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100ක ධජයන් ප්‍රචාරය කිරීමට නියමිතය. තවද මෙම අභියෝගය පරිසර සංරක්ෂණය සඳහා සහය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිව Conservation International වෙත ඩොලර් 100,000ක් රැස්කර දීමේ ව්‍යාපෘතියක් ලෙස ද ක්‍රියාත්මක වේ. මීට අමතරව DHL හි සේවකයින් ලොව පුරා රුක් රෝපණ 100,000 ක් සිදු කිරීමට ද නියමිතය.

Visits: 48