පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ජපානයේ ස්ටර්ලින්ග් සමූහය හා එක්වෙමින් PMF Finance PLC වෙයි

විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (PMB.N0000) අද දිනයේ සිට PMF Finance නමින් සිය සන්නාමය වෙනස් කිරීමකට ලක් කරන බව ප්‍රකාශ කර සිටියි.

ජපානයේ ස්ටර්ලින්ග් සමූහය (Sterling Japan) හා ඇති කරගත් ඒකාබද්ධතාවක් සමගින් මෙලෙස එම සමාගම සිය සන්නාමය වෙනස් කිරීමකට ලක් කර තිබේ. එම සමූහය යටතේ ක්‍රියාත්මක ස්ටර්ලින්ග් කැපිටල් ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගම 2019 වසරේදී පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි  ප්‍රධාන කොටස්හිමිකරුවා බවට පත්විය.

විශේෂයෙන්ම වසර 40කට අධික කාලයක් ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් සහ සිතුම් පැතුම් දිනාගත් සමාගමක් ලෙස ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව මෙරට ජනතාව වෙත සේවා සැපයීම වෙනුවෙන් මෙලෙස ජපානයේ ස්ටර්ලින්ග් සමූහය හා එක් වූ බව පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

ඒ හරහා ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාවේ ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමක් කිරිම අරමුණ බවද සමාගමේ අදහස වී තිබේ.

එසේම එතෙක් මෙතෙක් ජපානයේ සමාගමක මූල්‍ය සහයෝගිතාවය හිමි කරගත් ශ්‍රී ලංකාවේ එකම මූල්‍ය සමාගම බවටත් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගම පත්වන බවත් එම සමාගම මෙහිදී සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ බලපත්‍රය සහිත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 1983 ජනවාරි 26 වැනිදා ස්ථාපිත කළ සමාගමකි.

Visits: 171