එමිරේට්ස් සමූහය 2022-23 මුල් අර්ධය සඳහා වාර්තාගත කාර්යසාධනයක් පෙන්වයි

එමිරේට්ස් සමූහය 2022-23 මූල්‍ය වසරට අදාළ මුල් අර්ධ වර්ෂයේදී එක්සත් ආරාබි එමිරේට් ඩිරාම් බිලියන 4.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක) ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙන අතර එය මාස හයක් තුළ ලැබූ වාර්තාගත කාර්යසාධනයක් බව නිවේදනය කර සිටියි.

මෙය පසුගිය වසරේ අදාළ කාලයේදී සමූහය ලැබූ ඩිරාම් බිලියන 5.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක) අලාභය සමග සැසඳීමේදී මෙය ඩිරාම් බිලියන 10 ක වර්ධනයකි.   

මේ අතර, 2022-23 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී සමූහය ඩිරාම් බිලියන 56.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 15.3 ක) ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේදී ලැබූ ඩිරාම් බිලියන 24.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක) ආදායමට සාපේක්ෂව 128% ක වර්ධනයක් වේ. මෙම වර්ධනයට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගතයට අදාළව පැවති ගුවන් ගමන් සීමා ඉවත් කිරීම නිසා ගුවන් ගමන් සඳහා ලෝකය පුරා ඇතිවූ ඉහළ ඉල්ලූමයි. 

එමිරේට්ස් සමූහය 2022-23 මුල් මාස හය අවසන් වනවිටදී ඉතාමත් ශක්තිමත් මූල්‍ය තත්ත්වයකට පැමිණ තිබෙන අතර 2022 සැප්තැම්බර් 30 වනදා වනවිට සමූහය සතුව ඩිරාම් බිලියන 32.6 ක (ඇමරිකානු ඩොලර් බිලියන 8.9 ක) මුදලක් තිබුණි. 2022 මාර්තු 31 වනදා වනවිට සමූහය සතුව ඩිරාම් බිලියන 25.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 7.0 ක) මුදල් තිබුණි. මේ නිසා, ව්‍යාපාරික අවශ්‍යතා, ණය ගෙවීම සහ කොවිඩි-19 ට අදාළ වියදම් සමූහයටම අයත් ශක්තිමත් මුදල් සංචිත වලින් වැය කිරීමට හැකි වී තිබේ.   

මෙම ගිණුම් වාර්තා පිළිබඳව එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ‘2022-23 මුල් මාස හයේදී සමූහය විසින් ලබාගත් වාර්තාගත කාර්යසාධනය සඳහා අනාගත සැලසුම්කරණය, සක‍්‍රීය ව්‍යාපාරික ප‍්‍රතිචාරය සහ අපගේ දක්ෂ සහ කැපවූ කාර්ය මණ්ඩලයේ දායකත්වය ඉවහල් වුණා.’

‘ගමන් සීමාවන් ඉවත් කිරීම නිසා බොහෝ රටවල අපගේ සමූහය විසින් සිදුකළ මෙහෙයුම් කටයුතු නැවතත් යථාතත්ත්වයට පත්වුණා. අපගේ ශක්තිමත් ව්‍යාපාරික සැලසුම්, අපගේ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ සහයෝගය සහ සේවකයින් සහ තාක්ෂණය සඳහා අප විසින් සිදුකරමින් තිබෙන ආයෝජනයන් මෙන්ම අපි විසින් ලබාදෙන සේවාවන් නිසා ඉහළ පාරිභෝගික ඉල්ලූම සපුරාලීමට අපිට හැකිවුණා.’ 

‘එන මාස වලදී අපගේ මෙහෙයුම් කටයුතු වසංගතයට පෙර පැවති තත්ත්වයට වර්ධනය කර ගැනීමට අවධානය යොමුකර තිබෙනවා. මේ නිසා, අපගේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා වෙනුවෙන් ගැලපෙන පුද්ගලයින් අපගේ කාර්ය මණ්ඩලයට බඳවා ගනිමින් සිටිනවා. 2022-23 දෙවන අර්ධය තුළදීත් අපගේ සියළුම ව්‍යාපාරික අංශ වලට තිබෙන පාරිභෝගික ඉල්ලූම ශක්තිමත්ව පවතීවි. කෙසේවෙතත්, අපි වැඩිවන පිරිවැය, ඩොලරය ශක්තිමත්වීම සහ ප‍්‍රධාන වෙළෙඳපොළවල්වල අයවැය ප‍්‍රතිපත්තීන් වැනි අනිකුත් සාර්ව ආර්ථික අභියෝග පිළිබඳව අවධානයෙන් සිටිනවා.’  

ෂික් අහමඞ් මහතා තවදුරටත් මෙසේද පැවසීය: ‘අපගේ සමස්ත මූල්‍ය වර්ෂය අවසන් වනවිට පැවති ලාභදායීතාවයට නැවතත් ගමන් කිරීමට සමූහය බලාපොරොත්තු වෙනවා.’ 

එමිරේට්ස් ගුවන් සමාගම 2022 අපේ‍්‍රල් 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ගුවන් මගීන් මිලියන 20 ක් ප‍්‍රවාහනය කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 228% ක වර්ධනයක් වේ. මේ අතර, එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් සලකා බලන වසරේ මුල් මාස හය තුළදී ගුවන් භාණ්ඩ ටොන් 936,000 ක් ප‍්‍රවාහනය කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 14% පහළ වැටීමකි. මෙම පහළ වැටීමට හේතුවී තිබෙන්නේ සමූහයේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා පරිවර්තනය කළ සමහර ගුවන් යානා නැවතත් මගී ප‍්‍රවාහනය සඳහා යොදාගැනීමයි.    

මේ අතර, 2022-23 මුල් අර්ධය තුළදී එමිරේට්ස් ගුවන් සමාගමේ ලාභය නව වාර්තාවක් තබමින් ඩිරාම් බිලියන 4 ක් දක්වා (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්) වර්ධනය වී තිබෙන අතර පසුගිය වසරේ අදාළ කාලයේදී ගුවන් සමාගම ඩිරාම් බිලියන 5.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක) අලාභයක් වාර්තා කරන ලදී. පැවති අයහපත් විනිමය හුවමාරු තත්ත්වයකදී වුවද අනිකුත් මෙහෙයුම් ආදායම්ද ඇතුළත් වන එමිරේට්ස් ගුවන් සේවයේ ආදායම ඩිරාම් බිලියන 50.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 13.7 ක්) බවට ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කළ ඩිරාම් බිලියන 21.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.9 ක) ආදායමට වඩා 131%  ක වර්ධනයකි. 

පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඉන්ධන වියදම් තුන් ගුණයකින් වර්ධනය වීම නිසා එමිරේට්ස් හි, සමස්ත ධාරිතාවය 40% කින් වර්ධනය වීමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් 73% කින් ඉහළ ගොස් තිබීම කැපී පෙනේ.

Visits: 49