ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් සහ Co-Operative Leasing Company ඒකාබද්ධ කිරීමට යෝජනා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (LCBF.N0000) සහ Co-Operative Leasing Company Limited ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් පවතින බව ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙ වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. මෙම  Co-Operative Leasing Company Limited සමාගම ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක මූල්‍ය සමාගමකි.

ඒ අනුව මෙම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සමාගම් දෙක අතර වන මූලික අවබෝධතාව ඇති කරගැනීම සඳහා වන කොන්දේසි පත්‍රිකාව ඉදිරිපත් කිරීම සහ ඊට අත්සන් තැබීමේ කටයුතු ඊයේ (09දා) දිනයේ සමාගම් දෙකෙහි ප්‍රධානීන් අතර සිදුවුණු බවත් එම සමාගම සඳහන් කරයි.

මේ අතර ඉහත සඳහන් කළ සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ අදහස ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය ආයතන වඩාත් ශක්තිමත් කිරිම සඳහා යෝජනා කර ඇති සැලසුම් අනුව සිදුවන්නක් බවත් පැවසෙයි.

මෙහිදී අදාළ ඒකාබද්ධ කිරීම සඳහා වන අනුමැති ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැනටමත් ලබාදී ඇතැයිද ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඉදිරිපත් කෙරුණු මෙම කොන්දේසි පත්‍රිකාව අදාළ ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වන මූලික ඇඟවුමක් පමණක් වන බවත් එය මෙම කටයුත්ත හා බැඳී නොපවතින්නක් බවත් සමාගම සඳහන් කරයි. එසේම මෙම ඒකාබද්ධතාව සාර්ථකවීම යම් කොන්දේසි සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ සෑහීමකට පත්වීම පදනම් කරගනිමින් සිදුවනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Co-Operative Leasing Company Limited සමාගම 2003 වසරේදී සිය ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් විශේෂිත කල්බදු සමාගමක් ලෙස ලියාපදිංචිය හිමි කරගෙන තිබේ. එම සමාගමේ ප්‍රධානම කාර්ය භාරය වන්නේ නාගරික මෙන්ම ග්‍රාමීයව වෙසෙන ජනතාව වෙත අවශ්‍ය කල්බදු අවශ්‍යතා සහ මූල්‍ය සේවා සැපයීමයි.

අද වනවිට එම සමාගම මගින් ලීසිං සහ කුලී සින්නක්කර, උගස්කර ණය සහ ව්‍යාපාර ණය, ක්ෂුද්‍ර මූල්‍ය සහ වාහන සඳහා චක්‍රිය ණය ඇතුළු සේවා සපයයි.

මෙම Co-Operative Leasing Company Limited සමාගමේ කොටස් හිමිකාරීත්වය මෙරට තුළ ක්‍රියාත්මක විවිධ සමූපකාර ග්‍රාමීය බැංකු සහ සමූපකාර සංගම් අතර බෙදී ගොස් තිබේ. ඒ අතරින් වැඩිම කොටස් හිමිකාරීත්වය වයඹ සමූපකාර ග්‍රාමීය බැංකුවට හිමි අතර එය කොටස් 47,354,432කි. එසේම කොටස් 983,810ක් හිමි රිදීගම විවිධ සේවා සමූපකාර සංගමය සහ කොටස් 605,735ක් හිමි මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකුව මුල් කොටස් හිමිකරුවන් තිදෙනා වෙයි.

Visits: 158