කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී රුපියල් 3.50ක ලාභාංශ නිවේදනයත් සමගින් කොටස් වටිනාකම් 5.87%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම (CARG.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි ඊයේ දිනයේදී නිවේදනය කෙරිණි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව එහි සඳහන් විය.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම මගින් එහිදී පවසා තිබුණි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස දෙසැම්බර් 08 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස නොවැම්බර් 17 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම එහිදී සඳහන් කර තිබුණි.

මේ අතර ඊයේ දිනයේ නිවේදනය කෙරුණු මෙම ලාභාංශ ගෙවීමේ තීරණයෙන් අනතුරුව අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 212.00ක් දක්වා ඉහළ නැග තිබුණි. එය පෙර දිනයේදී එම කොටසක වටිනාකම වූ රුපියල් 200.25ට සාපේක්ෂව රුපියල් 11.75ක් එනම් 5.87%ක ඉහළයාමකි.

එසේම අද දිනය තුළදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 216ක් මට්ටමටද පත්ව තිබේ.

කෙසේ වෙතත් අද දිනය තුළදී කාර්ගිල්ස් (සිලෝන්)පීඑල්සී කොටස් 170ක් පමණක් ගනුදෙනු වී ඇති අතර, පිරිවැටුම රුපියල් 36,100ක් පමණක් ලෙස සටහන්ව තිබේ.

Visits: 48