Boadoer Investment වෙතින් පෝර්ට් සිටියට ඩොලර් මිලියන 220 ආයෝජනයක්

ලොව සුප්‍රසිද්ධ ආයෝජන සමාගමක් වන Boadoer Investment සමාගම කොළඹ වරාය නගරය තුළ සිදුකරන හෝටල් ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩොලර් මිලියන 220ක ආයෝජනයක් සිදු කිරීමට එකඟතාව පළ කර ඇතැයි පවසයි.

මේ සඳහා වන ගිවිසුම්ගතවීම පසුගියදා සිදුව තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට එතෙක් මෙතෙක් කොළඹ වරාය නගරය වෙත හිමි වුණු දැවැන්තම ආයෝජනය ලෙසින්ද මෙය සැලකෙයි.

මෙම ආයෝජනය යටතේ ලෝක මට්ටමේ සුඛෝපභෝගී හෝටලයක් ඇතුළුව කාර්යාල සංකීර්ණ පහසුකම් සහ කාමර 425ක සුඛෝපභෝගී මහල්නිවාස සංකීර්ණයක් ඇතුළුව දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කෙරෙන බව සඳහන් වෙයි. මෙහිදී ඉදිවන ගොඩනැගිලි ADK Tower සහ 4CC Tower ලෙසින් හැඳින්වෙන බව ආයෝජකයෝ සඳහන් කරති.

එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයෙකු වූ ජෙෆ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් මෙම ආයෝජනය කොළඹ වරාය නගරය වෙත හිමිව තිබෙන බව පැවසෙයි.  ඒ අනුව මෙහිදී අදාළ ගිවිසුම්ගතවීම කොළඹ වරාය නගරයේ කළමනාකාර අධ්‍යක්ෂ යැන්ග් ලු සහ ජෙෆ්රි ගුණවර්ධන මහතා අතර සිදුව තිබේ.

එසේම මෙම ආයෝජනය හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් නියෝජනය කරමින් Badoer Investments හි නීති ප්‍රධානී කාර්ති ගජේන්ද්‍රන්, ජනාධිපති නීතීඥ සරත් විජේසිංහ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන සිසිල් පෙරේරා යන මහත්වරුන්ද මේ  ගිවිසුම්ගතවීම සඳහා සම්බන්ධ වී තිබේ.

Visits: 169