ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (JKH.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1ක් බැගින් ලාභාංශ ගෙවීම සිදුවන බව සමාගම පවසයි.

එය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2022 දෙසැම්බර් 06  වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 16 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු සහ දෙවැනි අතරමැදි සහ අවසන් ලාභාංශ ගෙවීම් ලෙස ලාභාංශ ගෙවීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කටයුතු යොදා තිබුණි. එම සියලු අවස්ථාවකදීම ලාභාංශ ගෙවිම ලෙස ලබා දුන්නේ රුපියල් ශත 50ක මුදලකි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා (04) දිනයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටසක වටිනාකම රුපියල් 129ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 61