පාපන්දු ලෝක කුසලාන රසිකයන් මීගමුවට කැන්දන FIFA Fan Zone නිල වශයෙන් එළිදකී

මැදපෙරදිග කටාර්හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ලෝකයේ විවිධ රටවලින් එරටට පැමිණෙන මිලියන ගණනක් වු පාපන්දු ලෝලීන් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ මීගමුව සංචාරක කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන FIFA Fan Zone නිල වශයෙන් එළිදැක්වීම ඊයේ දිනයේදී කොළඹදී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවෙ වෙත විදෙස් සංචාරක මෙහෙයුම් සිදු කරන ආයතනයන්ගෙන් සැදුම්ලත් SLAITO ආයතනය, ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සංගමය (TAASL) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTB) එක්ව මෙම  FIFA Fan Zone සංවිධානය කරයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට කටාරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සිය රටෙහි ක්‍රීඩකයන් සහභාගිවන තරග නොපැවැත්වෙන දිනවලදී තවත් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙමින් මෙම FIFA Fan Zone සංකල්පය ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉක්මණින් ළගා විය හැකි මීගමුව සංචාරක කලාපය ආශ්‍රිත ප්‍රදේශය මේ සඳහා තෝරාගෙන ඇත.

මෙලෙස පාපන්දු ලෝක කුසලාන තරග සමයේදී මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා සංචරණය සහ නවාතැන් පහසුකම් ඇතුළු සේවාවන් සඳහා දින තුනක්, රාත්‍රී හතරක් ලෙස වන එක්සත් ජනපද ඩොලර් 650කින් ආරම්භ වන මූලික පැකේජයක් හඳුන්වාදීම සිදුව තිබේ.

මෙම පැකේජය ඇතුළුව FIFA Fan Zone පිළිබඳ නිල හඳුන්වාදීම එම FIFA Fan Zone කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ (SLCB) සභාපති තිසුම් ජයසූරිය මහතා අතින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම සිදුවිය.

ලබන නොවැම්බර් 20 වැනිදා සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා මෙම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙයි.

මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ෆ්ලයිඩුබායි ගුවන් සේවය, කටාර් ගුවන් සේවය සහ එයාර් ඉන්දියා යුගන් සේවය ශ්‍රී ලංකාවේ මෙම සංචාරක ප්‍රවර්ධන කටයුත්ත වෙනුවෙන් සහයෝගය ලබා දීමටද ඉදිරිපත්ව සිටියි.

දැනටමත් මීගමුව සංචාරක කලාපය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක හෝටල් ඇතුළු පහසුකම් සලසන්නන් මෙම සංචාරකයන් පිළිගැනීම සඳහා සූදානමින් සිටින බවත්, එහිදී එම සංචාරකයන් සඳහා උපරිම විනෝදාස්වාාදනයක් සැපයීම වෙනුවෙන් කටයුතු සූදානමින් කරමින් තිබෙන බවත් එම කමිටුවේ සභාපති තිසුම් ජයසූරිය මහතා පවසා සිටියි.

මෙම වැඩසටහන මගින් 2022 වසර තුළ මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය කරගැනීම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අරමුණ වී තිබේ. මේ වසරේ මුල් මාස 10ක කාලය තුළදී මෙරට වෙත සංචාරකයන් 568,258 දෙනෙකු පැමිණ ඇති අතර, ඔක්තෝබර් මාසයේදී පමණක් සංචාරක පැමිණීම් 42,026ක් වාර්තා වී තිබේ. මේ වසර තුළදී සංචාරකයන් මිලියනයක් එනම් ලක්ෂ 10ක් ගෙන්වා ගැනීම එම මණ්ඩලයේ අදහස වී තිබේ.

එසේම මේ වසරේ පළමු මාස පහක කාලය තුළදී සංචාරක කර්මාන්තය හරහා ඉපැයූ ආදායම ඩොලර් මිලියන 893ක් ලෙස සටහන්ව ඇත. එය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නංවා ගැනීම අරමුණ බව සංචාරක අමාත්‍යවරයා පසුගියදා පවසා සිටියේය.

Visits: 92