ඇමෙරිකාව සිය පොළී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමෙන් ආසියානු කොටස් වෙළෙඳ පොළ රැසක් පහළට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව මගින් සිය පොළී අනුපාතය 0.75%ක ප්‍රතිශතයකින් තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි පවසයි. එම බැංකුව මගින් ඉදිරිපත් කරන ආසන්නතම මුදල් ප්‍රතිපත්තිය එළිදක්වමින් එහි සභාපති ජෙරම් පවෙල් ඊයේ දිනයේදී මේ බව අනාවරණය කළේය.

ඒ අනුව මේ සමගම එරට පොළී අනුපාතය 3.75%ත් 4%ත් අතර අනුපාතයකට පත්ව තිබේ. එය 2008 වසරෙන් පසුව එක්සත් ජනපදය තුළ පොළී අනුපාතය පත් වූ ඉහළම අගයද වෙයි. විශේෂයෙන්ම එක්සත් ජනපදය වසර 40ක කාලයකට පසුව මුහුණ දෙන දරුණුතම උද්ධමන අර්බුදය පිටුදැකීම මෙම තීරණයේ හේතුව වී තිබේ.

ආසන්න කාලසීමාව පුරා පැවැති මුදල් ප්‍රතිපත්ති තීරණ හයකදීම එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් ගත් තීරණවලට අනුව එරට පොළී අනුපාත ඉහළ දැමීමට පියවර ගැනුණි. මේ කටයුතු හරහා වර්තමානයේදී 9%ක් ඉක්මවා ඇති උද්ධමන අනුපාතය ඉදිරියේදී 2%ක් දක්වා පහතට ගෙන ඒම අදහස වී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සංචිත බැංකු ප්‍රධානී ජෙරම් පවෙල්, ඉදිරියේදී සිදුකරන පොළී අනුපාත ඉහළ දැමීම් මීට වඩා අඩු මට්ටමකින් සිදුවනු ඇතැයි සඳහන් කර තිබේ.

මේ අතර එක්සත් ජනපද සංචිත බැංකුව සිදුකළ මෙම පොළී අනුපාත ඉහළ දැමීමත් සමගින්ම එරට ඩොලරයේ වටිනාකම් තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලොව රටවල් රැසකම මුදල් වටිනාකම් ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටීම සිදුව තිබේ.

එසේම වෙනත් වෙළෙඳ පොළ තුළ සිදුකර තිබූ ආයෝජන රැසක්ම මේ වනවිට එක්සත් ජනපදය වෙත ඇදෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ආසියානු කලාපය ඇතුළු නැගී එන ආර්ථිකයන්හි කොටස් වෙළෙඳ පොළ රැසක්ම ඊයේ දිනයේදී පහත වැටීමක් සිදුව ඇතැයිද වාර්තා පවසයි.

ඒ අනුව අද පෙරවරුව වනවිට හොංකොං හි හැන්ග්සෙන් කොටස් හුවමාරුව 15,338.85ක් දක්වා දර්හක 488කින් පහත වැටී තිබේ. එසේම සිඩ්නි නුවර S&P-ASX කොටස් හුවමාරුව 6,855.40ක් දක්වා දර්ශක 200කින් පහත වැටී ඇත. ෂැන්ග්හයි නුවර කොටස් හුවමාරුව 2,997.46ක් දක්වා 0.2%කින් පහත වැටී තිබේ. දකුණු කොරියාවේ Kospi කොටස් හුවමාරුව 2,322.11ක් දක්වා 0.6%ක ප්‍රතිශතයකින් පහත වැටී ඇත.

එසේම නවසීලන්තය සහ තවත් ආසියානු වෙළෙඳ පොළ රැසක්ම ඊයේ දිනයේදී පසුබැසීමක් පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් ජපානය තුළ අද දිනය නිවාඩු දිනයක් විම නිසා එරට කොටස් හුවමාරුවට ඉන් බලපෑමක් එල්ල වී නැත.

මේ අතරම ඩොලරය ශක්තිමත් වීමත් සමගින්ම එක්සත් ජනපද කොටස් වෙළෙඳ පොළ දර්ශක අගයන් ඉහළ යමින් පවතින බවත් සඳහන් වෙයි. එහිදී එක්සත් ජනපද S&P500 දර්ශකය 2.5%ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Visits: 225