ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් මුල්පුටුවල වෙනසක් – රුපියල් 05 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බහුජාතික සමාගමක් වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (LLUB.N0000) සමාගමෙහි සභාපති ධුරය සහ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා නව පත් කිරීම් සිදු කර ඇතැයි එම සමාගම පවසයි.

අද (නොවැම්බර් 02) දිනයේ සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම් සිදුකර තිබේ. ඒ අනුව සමාගමේ නව සභාපතිවරයා ලෙස මුහම්මද් නජාම් ෂම්සුදීන් මහතා පත් කෙරී ඇතැයි සමාගම සඳහන් කරයි. ඒ මහතා සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

මෙතෙක් කලක් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක සහ සභාපතිනිය ලෙස කටයුතු කළ රොචනා කෞල් මහත්මිය එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. එම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ නජිම් ෂම්සුදීන් මහතා එම සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ෂම්සුදීන් මහතා සතුව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.

ඒ අනුව මෙම ඉවත්වීමත් සමගින්ම පුරප්පාඩු වූ සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා බර්ට්‍රම් ශාන්තිකුමාර් පෝල් මහතා පත් කළ බවත් ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ඒ මහතා සමාගමෙහි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත් කරගෙන ඇති අතර, මෙම පත් කිරීම් සිදුවන අවස්ථාව වනවිට එම මහතා සතුව සමාගමෙහි කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

එසේම ඒ මහතා සතුව වසර 30කට අධික කාලයක් පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අත්දැකීම් පවතින බවත්, ඒ අතර බලශක්ති, FMCG, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණික, සිල්ලර වෙළෙඳාම්, දේපළ වෙළෙඳාම් සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර පවතින බවත් සඳහන් වෙයි. එහිදී ඒ මහතා ආසියානු සහ මැදපෙරදිග කලාපීය වෙළෙඳ පොළ රැසකම කටයුතු කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී රැස්වුණු ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ගනුලැබූ තීරණයකට අනුව එහි කොටස්කරුවන් සඳහා රුපියල් 5 බැගින් ලාභාංශ ගෙවීමටද තීරණය කෙරී තිබේ.

මෙය 2022 මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ. මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස නොවැම්බර් 22 වැනිදා ප්‍රකාශ  කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස නොවැම්බර් 11 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැතිබවත් සමාගම වැඩිදුරටත් පවසයි. ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 97.80ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 131