ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී වෙත 2022/23 ප්‍රථම අර්ධයේ බදුපසු ලාභයේ 328% ක දැවැන්ත වර්ධනයක්

ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් මූලික කරගත් එකම මූල්‍ය විසඳුම් සම්පාදකයා වන, වසර 52 ක ඉතිහාසයක් සහිත ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC), පසුගිය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව බදු-පසු ලාභයේ 328.57% ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කරගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 150 ක් වූ අතර, එය පෙර වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව රු. මිලියන 35 ක වර්ධනයකි.

වඩාත් දුෂ්කර මූල්‍ය පරිසරයක් හමුවේ, සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ ශුද්ධ පොලී ආදායමද රුපියල් මිලියන 913 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් මිලියන 508 ට සාපේක්ෂව 79.72% ක වර්ධනයක් වේ.

තවද 2021 සැප්තැම්බර් මාසය අවසානයේදී සමාගමේ  ශාඛාවන් 45 ක් රට පුරා විවෘත කර තිබූ අතර, 2022 සැප්තැම්බර් 30 දින වනවිට එම සංඛ්‍යාව 65 දක්වා වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී, රන් කේන්ද්‍ර කරගත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ. 2021 වසරේ සැප්තැම්බර් මස අවසානයේදී රු. බිලියන 17.7 ක් වූ සමාගමේ වත්කම් පදනම, මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළදී 25% කින් වර්ධනය වී, රු. බිලියන 22 ක් බවට පත් වී ඇත.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි හිමිකාරීත්වය, ඉන්දියාව පදනම් කරගත් ගෝලීය මූල්‍ය සේවා දැවැන්තයෙකු වන, ලොව පුරා රු. ට්‍රිලියන 2.54 කට අධික වත්කම් හිමි  Muthoot Finance සතු ය. Muthoot Finance සමූහය මෙම වසරේ සිය ගෝලීය මෙහෙයුම්වලින් රුපියල් බිලියන 100 ඉක්මවන ලාභයක් වාර්තා කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සියලුම මූල්‍ය සමාගම් විසින් උපයා ඇති සමස්ත ලාභයට වඩා විශාල මුදලකි. මෙවැනි දැවැන්ත ගෝලීය සමාගමක පිටුබලය ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී වෙත හිමි වී තිබීම, එහි ශක්තිය, ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය නැවත නැවතත් තහවුරු කරයි.

2022/23 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 6 තුළ ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පෙන්නුම් කර ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා මෙසේ පැවසී ය. “රත්‍රන් මූලික කරගත් මුල්‍ය සේවාවන් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීම හේතුවෙන්, ආයෝජකයින්ගේ සහ වෙළඳපොළේ අපේක්ෂාවන් ඉක්මවා යන මට්ටමේ වර්ධනයක් සහ ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගැනීමට මෙම වසරේදී අපට හැකි වුණා. රත්‍රන් යනු තවමත් වෙළඳපොළේ පවතින වඩාත්ම ස්ථාවර මූල්‍ය වත්කම් අතරින් එකක්. මෙම සාධකය ඔස්සේ, දුෂ්කර මූල්‍ය පරිසරයක් තුළ පවා අපගේ ගනුදෙනුකරුවන්ට සහ ආයෝජකයන්ට විශිෂ්ට වටිනාකම් තිළිණ කිරීමට අපට හැකි වුණා. එමෙන්ම අප මෙම වසරේදී නව්‍ය ප්‍රවේශයක් සමගින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රන් අරමුණු කරගත් නවතම මුල්‍ය සේවාවන් එකතුවක් හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා. මෙය වසරේ ඉදිරි කාලය තුළ වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට උපකාරී වේවි. අප දැන් උත්සාහ කරන්නේ, මේ යහපත් ප්‍රවණතාවන් අඛණ්ඩව පවත්වා ගන්නා අතරම, විශේෂයෙන්ම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය ඔස්සේ අපගේ පාර්ශ්වකරුවන්ට තවදුරටත් ඉහළම වටිනාකම් තිළිණ කිරීමටයි. එමෙන්ම අප 25.44% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් පවත්වා ගැනීමටත් සමත් වී ඇති බව කියන්නේ ඉමහත් සතුටින්. මෙය මෙරට සමස්ත මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අගයන් අතරින් එකක් වන අතර, අභියෝගකාරී ආර්ථික පරිසරයක් හමුවේ පවා අප සතු ශක්තියට හා ස්ථාවරත්වයට එය මනා සාක්ෂියක්.”

තම ඩිජිටල්කරණ ඉලක්ක වලට සමගාමීව, තිරසාරත්වයට මුල්තැන දෙමින් ‘Going Green Policy’ නමින් පරිසර හිතකාමී ප්‍රතිපත්තියක් හඳුන්වා දීමටද සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙය 2022 අගෝස්තු 01 දින සිට වලංගු වේ.

අනෙකුත් මූල්‍ය දර්ශක සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කිරීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමත් වී ඇත. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ පැවති 3.43% ක් වූ ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 2.69% දක්වා අඩු වී තිබේ.

එමෙන්ම සමස්ත කොටස් වටිනාකම පෙර වසරේ පැවති රු. බිලියන 2.671 සිට 7.68% කින් වර්ධනය වී, රු. බිලියන 2.876 ක් ලෙස වාර්තා වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම, පෙර පැවති රු. 21.50 ට සාපේක්ෂව  මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ රු. 23.16 දක්වා දක්වා ඉහළ ගියේ ය. එමෙන්ම නියාමන ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයන් තුනම ඉතා යහපත් සීමාවන් තුළ සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අගයන් අතර පවත්වා ගැනීමට ද සමාගම සමත් විය.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි. 1970 වසරේදී, රන් ණය සේවාවන් මූලික කරගෙන, තැන්පතුකරුවන්ට මෙන්ම ණය ලබාගන්නන්ට සේවය සැලසීමේ අරමුණින් එය ආරම්භ කරන ලදි. එම සමාගම Asia Asset Finance App (LUCKE WALLET) ඔස්සේ රන් ණය, ස්ථාවර තැන්පතු, ලීසිං, උකස් සහ ඩිජිටල් මූල්‍ය සේවා ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් පිරිනමයි.

Visits: 125