ආදිවාසී ගොවි ජනතාව වෙනුවෙන් සම්පත් බැංකුව දඹාන දැලිකැදලි වැවෙහි ප්‍රතිසංස්කරණ අරඹයි

සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් ලෙස මෙරට අභිමානවත් ආදිවාසී ජනතාවගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් දියවර සපයා ගැනීමේ ප්‍රධාන මාර්ගය වන දඹාන, දැලිකැදලි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා අරඹා තිබේ.

ඒ අනුව පසුගියදා සුභ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද සහ ආදිවාසී පුද පූජා මධ්‍යයේ දඹාන දැලිකදැලි වැව ප්‍රතිසංස්කරණයේ මංගල පියවර තැබීම සිදුව ඇත.

බුලතා යෝධයා ඉදිකළලොවක් මවිත කරන සොර බොර වැවේ ප්‍රෞඩත්වය මතින් පාරම්පරික ආදිවාසී ජනතාවගේ ජීවනෝපායෙහි කොටසක් වී ඇති දඹාන දැලිකැදලි වැව, ප්‍රදේශයේ කූඹුරු අක්කර 104ක් අස්වද්දන්නට අවැසි දියවර වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව සපයා තිබේ. ඒ හරහා ගොවි පවුල් 90කට වැඩි ප්‍රමාණයකගේ කුසගිනි නිවන්නට දිරි දුන් මහඟු සම්පතක් විය.

එහෙත් නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් මෙම දැලිකැදලි වැවට සිය මෙහෙවර නිසි පරිදි ඉටු කරන්නට තරම් ශක්තියක් පසුගිය කාලසිමාවේදී හිමිව නැත. සම්පත්බැංකුව එම වැව මෙලෙස ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇත්තේ ඒ අනුවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි. වාස් ගුණසේකර මහතා, “සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’සමාජ සත්කාරක ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උරුම කර දීම වෙනුවෙනුයි. විශේෂයෙන් සම්පත් බැංකුවේ ‘පොහොසත් මිනිස්සු’ සංකල්පය යළි යලිත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකි මෙම සමාජ සත්කාරය තුළින් ආදිවාසී ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීමට හැකි වනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.

‘දඹාන දැලිකැදලි වැව ගොවි සංවිධානය’ මඟින් පාලනය වන දැලිකැදලි වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් එම ගොවි සංවිධානයේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහායද නොඅඩුව ලැබෙන අතර බදුල්ල දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්මේන්තුව විසින් අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දෙනු ලබයි.

දැලිකැදලි වැව ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දැලිකැදලි වැව ගොවි සංවිධානයේ සභාපති අජිත් අමරසිරි මහතා “කාලයක් තිස්සේ අපි ඉතාමත් හොඳින් කුඹුරු ගොවි තැන් කළා. ඒ සඳහා අපට මේ දැලිකදැලි වැවෙන් අවශ්‍ය තරම්  වතුර ලැබුණා. ඒත් දැන් මේ වැව අභාවයට ගිහින් නිසා අපට එක කන්නයක්වත් හරිහැටි වගා කරගන්න ලැබෙන්නේ නෑ. පිටවාන සම්පූර්ණයෙන් කැඩී ගිහින් තිබෙන නිසා වතුර රඳවා ගැනීමේ හැකියාවක් නෑ. සොරොව් දොරත් අබලන් තත්වයේ තියෙන්නේ. කුඹුරු යායට වතුර ගෙනියන ඇල මාර්ගත් ඉතාම අබලන් වෙලා. මේ වැව ප්‍රතිසංස්කරණය කළ යුතු බව අපේ ගොවි සංවිධානය වටහාගෙන බොහෝ කාලයක්. ඒත් ඒක අපට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.” යනුවෙන් පවසා සිටියේය.

මීට විසි වසරකට පෙර ආරම්භ කළසම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට ප්‍රතිසංස්කරණය කොට ගොවි ජනතාව වෙත භාර දී ඇති වැව් ප්‍රමාණය 12 කි. එසේම නුදුරේදීම කූඹුරු අස්වැද්දීම වෙනුවෙන් අවශ්‍ය දියවර නිකුත් කිරීමේ අභිලාෂයෙන් තවත් වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින බවත් සම්පත් බැංකුව සඳහන් කරයි.

Visits: 45