නොවැම්බර් 01 සිට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කාලය වැඩිවෙයි

කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘතව තැබෙන කාල සීමාව ලබන නොවැම්බර් 01 වැනිදා සිට ඉහළ නැංවෙන බව පවසයි.

එහි අලෙවි අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනයේදී මේ පිළිබඳව කරුණු සඳහන් කර තිබේ.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවත් සමගින් සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කාලය ඉහළ දැමීමක් සිදුව තිබේ.

ඒ අනුව නොවැම්බර් 01 වැනිදා සිට දිනයේ ගනුදෙනු පෙර ආරම්භය පෙරවරු 9.30 සිට 10.00 දක්වා ලෙස සිදුවනු ඇතැයි සඳහන් වෙයි. එසේම ලංසු තැබීම ඇරඹීම පෙරවරු 10.00ට ඇරඹෙන අතර,  සාමාන්‍ය ගනුදෙනුද එම කාලයේදීම ආරම්භ වෙයි. දෛනික ගනුදෙනු අවසානය පස්වරු 1.00 ට සිදුවනු ඇති බවත් කොළඹකොටස් හුවමාරුව වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මෙතෙක් පෙරවරු 10.00 සිට පස්වරු12.30 දක්වා පැය 2.30ක්ව පැවැති ගනුදෙනු කාලය නොවැම්බර් 01 වැනිදා සිට පැය 3.00ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

Visits: 93