කැසිනෝ වාර්ෂික බද්ද රුපියල් කෝටි 30කින් සහ ඔට්ටු හා සූදු බදු ඉහළට

කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල පසුගිය අගෝස්තු 01 වැනිදා සිට රුපියල් කෝටි 50 දක්වා වැඩි කිරීමට අමතරව, ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන්ම බදු රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සහ සමාජ මග පෙන්වන්නෙක් ලෙස, අධෛර්යමත් කළ යුතු අංශ අධෛර්යමත් කිරීම සඳහාද යොදා ගැනීමේ මූලික අරමුණින් මෙම තීරණය ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ඒ අනුව කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සඳහා යෝජනා වී ඇතැයි රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.

මේ අතර වෙනත් ඔට්ටු හා සූදු සඳහාද බදු වැඩි කිරීමට තීරණය කෙරී තිබේ. ඒ අනුව සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමක් සිදුවනු ඇතැයි සඳහන් වෙයි.

එසේම පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩි කිරීමටත් යෝජනා වී ඇත. මීට අමතරව ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල්  මිලියන 5 දක්වා වැඩි කිරීමක් සිදුවනු ඇතැයිද මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර, සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000/= සිට රුපියල් 75,000/= දක්වා වැඩි කිරීමක් සඳහාද යෝජනා වී තිබේ. එසේම මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ. මීට අමතරව සුරා සහ දුම්කොළ බදු යටතේ, මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් සහ දුම්වැටියකින් 85%කට ආසන්න බද්දක් අය කරගන්නා බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 116