SLIM ආයතනය SME ව්‍යවසායකයන් ඇගයීම වෙනුවෙන් SLIM SMEDA සම්මාන උළෙල දියත් කරයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා අතිවිශාල දායකත්වයක් ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය (SME) ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් SLIM SME Development Awards (SMEDA) නමින් සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා වන මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණි. මෙහිදී SLIM සභාපති නුවන් ගමගේ, SLIM Events හි උප සභාපති ගයාන් පෙරේරා, SLIM SMEDA හි ව්‍යාපෘති ප්‍රධානී මදුරංග වීරතුංග සහ  SLIM SMEDA හි ජූරි කමිටුවේ ප්‍රධානී දිනේෂ් නල්ලයියා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සම්බන්ධ විය. එසේම SLIM SMEDA හි සන්නාම තානාපතිවරයා ලෙස යුපුන් අබේකෝන් පත් කරගැනීමේ එකඟතාවට පිවිසීමේ අවස්ථාවද මෙහිදී සිදුවිය.  

SLIM ආයතනය මගින් ක්‍රියාත්මක කරන Restart Sri Lanka (ReStartSL) වැඩසටහන යටතේ මෙම SLIM SMEDA සංවිධානය වෙයි. විශේෂයෙන්ම මෙවැනි ආර්ථික අර්බුදකාරී අවස්ථාවකදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිය ව්‍යාපාර කලමනාකරණය කරගනිමින්, අලෙවිය, අලෙවිකරණය සහ සන්නාමකරණය යන කාරණා පවත්වාගෙන යාම ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.

මෙහිදී විවිධ ව්‍යාපාර වර්ග අනුව රන්, රිදී සහ ලෝකඩ ලෙස සම්මාන තුනක් පිරිනැමීමට SLIM SMEDA සංවිධායක කමිටුව සූදානමින් සිටියි. ඒ අනුව ඩිජිටල් අන්තර්ජාල ව්‍යාපාර (සිය ආදායමෙන් 80%ක් අන්තර්ජාලය හරහා ලබා ගන්නා ව්‍යාපාර)‍‍, සිල්ලර වෙළෙඳාම, කෘෂිකාර්මික සහ කිරි නිෂ්පාදන, FMCG, ආගන්තුක සත්කාර, අධ්‍යාපනය ඇතුළු සේවා සම්පාදනය, අපනයන (සිය ආදායමෙන් 80%කට වඩා වැඩි අපනයන ආදායමක් සහිත), ව්‍යාපාර සිට ව්‍යාපාර වෙත භාණ්ඩ අලෙවි කරන (B2B), රෙදිපිළි සහ ඇගලුම්, ඉදිකිරීම් සහ දේපළ වෙළෙදාම්, ස්වාභාවික සෞඛ්‍ය සහ සුවය සහ කලාත්මක නිර්මාණ මෙම කාණ්ඩ වෙයි.

මීට අමතරව මෙම සියලුම කාණ්ඩ අතරින් හොඳම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා (SME Entrepreneur of the year), වසරේ තරුණ නව ව්‍යවසායකයා (Young Startup of the year) සහ වාණිජත්වයට පත් කෙරුණු හොඳම නවෝත්පාදන ව්‍යාපාරය (Best Innovate to Commercialized market) ලෙසත් සම්මාන පිරිනැමේ. මේ අතරින් Young Startup of the year සඳහා සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 30ට අඩු ව්‍යවසායකයන්ය, එහෙත් Best Innovate to Commercialized market සඳහා වයස් සීමාවක් අදාළ නොවේ.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වර්ග කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර ඇති නිර්ණායක අනුව සිදු කර ඇතැයි සංවිධායකයන් සඳහන් කරයි. ඒ අනුව වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 16ත් – 250ත් අතර පවතින ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර ලෙසත්, වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 251ත් – 750ත් අතර පවතින ව්‍යාපාර මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙසත් සැලකෙයි.

මෙම SLIM SMEDA සම්මාන උළෙල සඳහා අයැදුම්පත් එවීමේ අවස්ථාව ඔක්තෝබර් 20 වැනිදා සිට 30 වැනිදා දක්වා  විවෘතව තිබේ. එසේම මෙම සම්මාන උළෙල සඳහා සුදුසුකම් ලැබීමට නම් එම ව්‍යාපාරය වසර තුනක කාලයක් සිය ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යා යුතුව තිබේ.

SLIM SMEDA සම්මාන උළෙල සඳහා වන අයැදුම්පත් SLIM නිල වෙබ් අඩවියෙන් (www.slim.lk) ඩවුන්ලෝඩ් කරගත හැකිය. එසේම මේ පිළිබඳ වැඩිදුර විස්තර 0703266988 දුරකතනය හරහා හෝ  gangani.l@slim.lk ඊ-මේල් ලිපිනය හරහා ලබා ගත හැකිය.

Visits: 103