ADB සහායෙන් RAMIS පද්ධතිය සම්පූර්ණයෙන්ම බලාත්මක කරවීම සඳහා සැලසුම්

රැමිස් පද්ධතිය Revenue Administration Management Information System (RAMIS) කඩිනමින් සම්පූර්ණයෙන් බලාත්මක කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු තොරතුරු තාක්ෂණය මත වේගවත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන බව එම රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ආදායම් ඉහළ නංවා ගැනීම සහ ආදායම් කළමනාකරණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති මෙවන් වකවානුවක ඒ සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමගින් බදු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සේම වේගවත් සහ විශ්වාසනීයත්වට පත් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.විශේෂයෙන් ම මෙම පද්ධතිය හරහා තක්සේරුකරුවන් සහ බදු ගෙවන්නන් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඍජුව සම්බන්ධ වන බැවින් සියලු තොරතුරු නිවැරැදි, පිළිගත් සහ විනිවධභාවයකින් යුතු වැඩපිළිවළක් යටතට පත් බව සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියි.

බදු ක්‍රියාවලිය වේගවත් සහ නිරවද්‍ය කිරීමේ අරමුණෙන් 2014 වසරේ ස්ථාපිත මෙම පද්ධතිය මූල්‍ය සහ විනිමය ඇතුළු විවිධ කාරණා හේතුවෙන් පළමු අදියර අවසානයේ අකර්මන්‍ය විය.

දෛනිකව ඉහළ ආදායමක් ලබන රේගු දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන 35ක් එම පියවර යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කෙරිණි.

දැනට 95%ක වැඩ අවසන්ව ඇති මෙම පද්ධතියේ කටයුතු අවසන් නොවීම හේතුවෙන් පසුගිය දා සිදු කළ බදු සංශෝධනයේදී ද ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

දේශීය බදු ආදායම විධිමත් කිරීම සහ වර්ධනය කිරීම සඳහා රැමිස් පද්ධතිය මගින් සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 439