ඕස්ට්‍රේලියාවේ විශාලතම ලාංකීය සංස්කෘතික උළෙල Lanka Fest යළිත්

ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ආහාරපාන ප්‍රදර්ශන උළෙල වන ‘ලංකන් ෆෙස්ට්’ අද (ඔක්තෝබර් 23) දා මෙල්බර්න් හි සුප්‍රකට වික්ටෝරියා රැජින වෙළඳපොල භූමියේ දී අති උත්කර්ශවත් ලෙස පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

කොවිඩ් වසංගතය හේතුවෙන් වූ වසර 3ක විරාමයකට පසු මෙම අවස්ථාව සංවිධානය වීමත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් සංස්කෘතිය සහ උරුමය පිළිබඳ අභිමානනීය සැමරුම ලෙස ‘ලංකන් ෆෙස්ට්’ උළෙල ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය තරුණ පිරිසක් විසින් 2015 දී ආරම්භ කරන ලද්දකි.

ඉන් ලැබූ සාර්ථකත්වය සමග 2016, 2017 සහ 2018 යන වසරවලදීත් අඛණ්ඩව ‘ලංකන් ෆෙස්ට්’ උළෙල සංවිධාන වූ අතර එය මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වරටයි.

මෙම උළෙලේ දී ශ්‍රී ලාංකේය ආහාරපාන, සංස්කෘතික නැටුම්, ගැයුම් හා වැයුම් මෙන්ම ශ්‍රී ලාංකේය කලා ශිල්ප, කුළුබඩු සහ සංචාරක ප්‍රදර්ශන කුටි ඇතුලු විවිධ අංග රාශියකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ සියලුම ජනවර්ග නියෝජනය කරමින් දවස පුරා නරඹන්නන් වෙත ප්‍රාසංගික අත්දැකීම් සමීප කරවීමට සංවිධායකයින් සැලසුම් කර ඇත.

‘ලංකන් ෆෙස්ට්’ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික හා විදේශිකයින් අතර ඉතා ජනප්‍රිය සංස්කෘතික උත්සවයක් බවට මේ වන විට පත්ව තිබේ.

“වසර තුනකට පසු මෙම උත්සවය යළි සංවිධානය කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. ඒ වගේම වික්ටෝරියානු බහු සංස්කෘතික කොමිෂන් සභාවෙන් මෙම උළෙල සදහා නිළ පිිළිගැනීම හා හවුල්කාරිත්වයක් ලැබීම අපට ඉතා ගෞරවයක්, ” බව ලංකන් ෆෙස්ට් සංවිධානයේ සභාපති ආචාර්ය දමිත ද මෙල් පවසයි.

“ලංකන් ෆෙස්ට් අවසන් වරට පැවැත්වුනු 2018 වසරේ දී නරඹන්නන් 60,000ක් ආකර්ශනය කර ගත්තා. ඒ නිසා කොවිඩ් සීමාවන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇති වත්මන් තත්ත්වය යටතේ මෙවර අපට වාර්තාගත නරඹන්නන් සංඛාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. සංස්කෘතික අත්දැකීම් සොයන බොහෝ අය, ආහාරපාන ලෝලීන් මෙන්ම සංචාරක ලෝලීනුත් ආකර්ෂණය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා, ” යැයි ආචාර්ය දමිත ද මෙල් සදහන් කරයි.

“මේ වසරේ උත්සවයට පැමිණෙන සැමට ශ්‍රී ලංකාව සහ එහි ලෝක ප්‍රකට රසයන් පිළිබඳ අමතක නොවන අත්දැකීමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා,” දමිත වැඩිදුරටත් පැවසීය. .

මෙවර උළෙලේ සියලුම ආදායම් ශ්‍රී ලංකාවේ ජාතික පිළිකා රෝහලට ආධාර එකතු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ආරම්භ කරන ලද “Ride for Apeksha” අරමුදල වෙත යොමු කිරීමට ද සංවිධායකයින් බලාපොරොත්තු වේ.

ලන්කන් ෆෙස්ට් උළෙල, ලංකන් ෆෙස්ට් ඉන්කෝපරේෂන්, දරුවන් සඳහා අනාගතයක් පදනම සහ කොළඹ කොටුව රොටරි සමාජයේ ඒකාබද්ධ කර්තව්‍යකි.

Visits: 84