හිටපු IMF ජ්‍යෙෂ්ඨ නිලධාරිනී ආචාර්ය ෂාර්මිනි කුරේ ඩයලොග් ආසිආටා අධ්‍යක්ෂ මණ්ඩලයට

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය පත් කරගත් බව පවසයි.

මෙහිදී ඇය ඩයලොග් ආසිආටා සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී තිබේ. පසුගිය ඔක්තෝබර් 15 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව ඇතැයිද සමාගම සඳහන් කරයි.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ආචාර්ය කුරේ මහත්මිය සතුව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් පැවසෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ජ්‍යෙෂ්ට නිලධාරිනියක වන ආචාර්ය කුරේ මහත්මිය වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා උපදෙස් ලබාදීම වෙනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද බහුපාර්ශ්වීය එකඟතා සහ ණය තිරසාරකරණය පිළිබඳ උපදේශක කණ්ඩායමෙ සාමාජිකාවක ලෙස කටයුතු කරයි.

ආචාර්ය ෂර්මිලා කුරේ මහත්මිය 1986 වසරේදී අර්ථශාස්ත්‍ර වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ ඇය සේවය කළ වසර 35ක කාලයේදී අප්‍රිකානු, ආසියා සහ පැසිපික්, යුරෝපියානු සහ බටහිර අර්ධගෝලයේ දෙපාර්තමේන්තු තුළ සේවය කර තිබේ. එසේම උපායමාර්ගික, ප්‍රතිපත්ති සහ විමසුම් දෙපාර්තමේන්තුහිදීද ඇය කටයුතු කර ඇත.

Visits: 94