ධම්මික පෙරේරාගේ දියණිය හේලීස්, වැලිබල්, ලංකා ටයිල්ස් ඇතුළු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ද කිංග්ස්බරි පීඑල්සී, හේලීස් ලෙෂර් පීඑල්සී, හේලීස් ෆැබ්රික්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී, ලංකා ටයිල්ස් පීඑල්සී, ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී යන සමාගම්හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස දෝන බ්‍රින්දිනි පෙරේරා මෙනෙවිය පත් කිරිමට පියවර ගත් බව පවසයි.

2022 ඔක්තෝබර් 19 වැනිදා (අද) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් වීම සිදු කර තිබේ. එම සමාගම් මගින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපි මගින් මේ පිළිබඳව දැනුම් දී ඇත.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ඇය සතුව මෙම සමාගම් කිසිවකවත් කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් මෙ සමාගම් මෙහිදී සඳහන් කර තිබේ.

පෙරේරා මෙනෙවිය කොළඹ ජාත්‍යන්තර පාසැලේ ආදි ශිෂ්‍යාවකි. එසේම ඇය ඉම්පීරියල් කොලේජ් ලන්ඩන්හි යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් උපාධියක් හදරා ඇතැයි එම සමාගම් සඳහන් කරයි. මෙම උපාධිය යටතේ නිෂ්පාදන තාක්ෂණය සහ කළමනාකරණය, ව්‍යවසායකත්වය, සාංගමික මූල්‍ය, සංඛ්‍යාලේඛන සහ ගණිතය යන ක්ෂේත්‍ර ආවරණය වී ඇතැයිද වැඩිදුරටත් සඳහන් වෙයි.

දෝන බ්‍රින්දිනි පෙරේරා මෙනවිය මෙරට සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සහ ඔහුගේ බිරිඳ වන ප්‍රිසිලියා පෙරේරා මහත්මියගේ දියණියයි.

ඉහත සඳහන් කළ ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම වෙනුවෙන් පසුගිය ජූනි මාසයේදී එම සියලුම අධ්‍යක්ෂ මණ්ඩල ධුරවලින් ඉවත් විය.

අනතුරුව ඔහු ජූනි 22 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එහෙත් පසුව ජනපතිවරයා ධුරය අත්හැර දැමීමෙන් අනතුරුව, රජය වෙනස්වීමත් සමගින්ම ධම්මික පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත්විය.

එසේම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉවත් වන බව ප්‍රකාශ කෙරුණද, මෙතෙක් එවැන්නක් සිදුව නොමැත. අදටත් ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්ත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

Visits: 1379