රු. කෝටි 2ක මුදල් ත්‍යාගයක් සමග 2022 බුකර් සම්මානය ශ්‍රී ලංකාවේ ෂෙහාන් කරුණාතිලකට

ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද ‘The Seven Moons of Maali Almeida’ ග්‍රන්ථය වෙත 2022 වසර සඳහා වන බුකර් සම්මානය (Booker Prize) හිමිව තිබේ.

ඊයේ දිනයේදී බ්‍රිතාන්‍යයේ තෙවැනි චාර්ල්ස් රජුගේ රාජ මෙහෙසිය වන කැමිලා පාකර් අතින් ලන්ඩන් නුවරදී මෙම සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

සම්මානයට අමතරව ෂෙහාන් කරුණාතිලක හට පවුම් 50,000ක ත්‍යාගයක්ද පිරිනැමීමට බුකර් සම්මාන කමිටුව පියවර ගෙන ඇත. මෙය ශ්‍රී ලංකා රුපියල් මුදලින් කෝටි දෙකකට (20,578,901.87කට) ආසන්න වටිනාකමකි.

මේ වසරේදී මෙම බුකර් සම්මානය පිරිනැමීම සඳහා ලොව විවිධ රටවල ලේඛකයන් විසින් රචිත නවකතා 169ක් යෝජනා වී තිබූ අතර, එහිදී අවසන් වටය සඳහා ෂෙහාන් කරුණාතිලකගේ ‘The Seven Moons of Maali Almeida’ ග්‍රන්ථය ඇතුළුව තවත් ග්‍රන්ථ හයක් තේරීපත්ව තිබුණි.

මෙම තේරීපත්වූ ඉතිරි ග්‍රන්ථ නිර්මාණ සඳහාද පවුම් 2,500ක් බැගින් එනම් රුපියල් දස ලක්ෂයක් (1,028,945.09) බැගින් පිරිනමා තිබේ.

මෙම ‘The Seven Moons of Maali Almeida’ ග්‍රන්ථය මෙරට සිවිල් යුද සමය පසුබිම් කරගත් නවකතාවකි. එහි ප්‍රධාන චරිතය වන්නේ සිවිල් යුද සමයේ ජීවත්වූ මාලි අල්මේදා නමැති යුද අවස්ථා ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ මරණයෙන් පසුව සිදුවන සිදුවීම් පෙලක් ඔස්සේ මෙම නවකතාව රචනා වී තිබේ.

මීට පෙර ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද Chinaman නවකතාවද බොහෝ කතාබහට ලක්විය. එයද සාහිත්‍ය සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය.

Visits: 87