බොරතෙල් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට වාණිජ ණය පහසුකමක් දෙන්න රුසියාව එකඟවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස බොරතෙල් ලබාගැනීම සඳහා වාණිජ ණය පහසුකමක් සැපයීමට රුසියානු සමූහාණ්ඩුව එකඟතාව පළ කර ඇතැයි මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ දිනවල රුසියාවට ගොස්ශ්‍ සිටින ශ්‍රී ලංකාවේ දූත පිරිස සහ රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ටිමුර් මැක්සිමොව් (Timur Maksimov ) මහතා අතර මොස්කව් නුවර දී පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළ වී තිබේ.

ඒ අනුව මාස 3 හෝ ඊට වැඩි කාල සීමාවකට වලංගුවන රුසියානු රජයේ අනුමත බැංකුවකින් ලබාදෙන වාණිජ ණය පහසුකමක් යටතේ බොරතෙල් මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට අවස්ථාව උදාවනු ඇතැයි සඳහන් වෙයි.

ඒ සඳහා අවශ්‍ය නෛතික ලියකියවිලි සපුරන්නැයි රුසියානු නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දූත පිරිසට දැනුම්දීමක්ද සිදු කර තිබේ.

මෙම හමුව සඳහා රාජ්‍ය ණය සහ ස්වෛරී මූල්‍ය වත්කම් පිළිබඳ රුසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කැසකෙවිච් පීටර්,ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවැන් ජැගැර්යැන්, රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ඇනැස්ටැසියා නෙමෝවා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ යන මහත්ම මහත්මීහු සහභාගි වී තිබේ.

අදාළ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟ වන්නේ නම් ගිවිසුම්ගත ක්‍රමය යටතේ අඛණ්ඩව බොරතෙල් මිල දී ගැනීම සඳහා රුසියානු වාණිජ ණය පහසුකම ලැබෙනු ඇතැයිද සඳහන් වෙයි.

Visits: 242