Vega විදුලි මෝටර් රථයේ සම නිර්මාතෘ බෙෂාන් කුලපාල Vega Innovations සමාගමෙන් ඉවත් වෙයි

මෙරට තුළ නිපදවුණු වඩාත් සාර්ථකම විදුලියෙන් ක්‍රියාත්මක සුපිරි මෝටර් රථය ලෙස සැලකෙන Vega EVX රථයේ සම නිර්මාතෘ ආචාර්ය බෙෂාන් කුලපාල මහතා එම මෝටර් රථයේ නිෂ්පාදන සමාගම වන Vega Innovations (pvt) ltd සමාගමෙන් ඉවත්ව ඇතැයි පවසයි.

පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කුලපාල මහතා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව දැනට වසර නවයකට පෙරාතුව ආරම්භ කළ Vega Innovation වෙතින් ඉවත්වීමක් මෙලෙස සිදුවන බව ඔහු පවසා සිටියි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ නවීන තාක්ෂණයක් සංවර්ධනය කරමින්, මෙම කුඩා දූපතටද ලෝකය තුළ යම් දෙයක් සිදුකළ හැකි බව පෙන්වීම සඳහා සිය උත්සාහය හරහා හැකි වුණු බවද ඔහු එහිදී වැඩිදුරටත් දක්වා තිබේ.

“එය ඉතාමත් සුන්දර ආරම්භයක්, දෙහිවල පිහිටි මගේ නිවසේ ගරාජයේ තමයි මේ Vega බිහි වුණේ. කිසිම සටහනකින් තොරව, මගේම දැනුම, සම්පත් සහ උපාංග යොදා ගනිමින් බලාපොරොත්තුව පිළිබඳ විශ්වාසය පමණක් තබා ගනිමින් අපි මෙය ආරම්භ කළා.” යනුවෙන් කුලපාල මහතා එහි සටහන් කර ඇත.

Vega රථයේ අනෙක් සම නිර්මාතෘවරයා වන්නේ ඔහුගේ මිතුරෙකු වන හර්ෂ සුබසිංහ මහතාය. අද වනවිට Vega Innovations සමාගම මගින් විදුලි ත්‍රීරෝද රථයක් ඇතුළුව තවත් නිෂ්පාදන රැසක්ම ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉතාමත් සුවිශේෂී කණ්ඩායමක් වෙත Vega භාරදෙමින් තමන් මෙලෙස ඉවත් වන බව ඔහු පවසා තිබේ. විශේෂයෙන්ම අද වනවිට Vega Innovation සමාගම තුළ දෙවැනි සහ තෙවැනි මට්ටමේ නායකත්වයන් බිහිව ඇති බවත්, ඒ හරහා ආයෝජකයන් වෙත වඩාත් සාර්ථක නිෂ්පාදන කළඹ ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබී ඇති බවත් ඔහු පවසයි.

“ශ්‍රී ලංකා ධජය තවත් ඉහළින් ලෙලදීමට Vega වෙත අවස්ථාව හිමිවෙනු ඇතැයි මම සුබපතනවා.” යනුවෙන් ඔහු සිය  ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබේ.

මේ අතර මෙම ඉවත්වීම සිය නව තාක්ෂණික හඳුන්වාදීම් සඳහා නැවැතීමේ තිතක් නොවන බව පවසන බෙෂාන් කුලපාල මහතා, ඉදිරියේදී වෙනත් නවතම තාක්ෂණික හඳුන්වාදීමක් සිදු කිරීමටත් සූදානමින් සිටින බව පවසයි.

“Vega බිහි කර වසර නවයකට පස්සේ දැන් මගේ වයස අවුරුදු 45ක්. මට කළ හැකි සීමාවන්, මට ළගා කර ගත හැකි සාර්ථකත්වයන් සහ මට ලබාදිය හැකි දායකත්වයන් සම්බන්ධයෙන් මම දැන් හොඳට තේරුම් අරගෙන තිබෙන්නේ.ඒ වගේම මම කොතරම් වටිනා පුද්ගලයෙක්ද කියන දේත් මට දැන් තේරෙනවා. ඒ නිසා මගේ මේ නව ස්ටාර්ට්අප් බිහි කිරීමේ මානසිකත්වය වෙනත් තැනක් වෙත රැගෙන යාමට මම කල්පනා කළා. අනාගතයේදී එය සිදු වේවි. මම ඉතාමත් නිර්භයව මෙම අභියෝගය වෙත පිවිසෙනවා. මොකද කිසිවක් නොකර ඉන්නවාට වඩා, උත්සාහ කරලා හරි අසාර්ථක වෙන එක හොඳයි.” යනුවෙන්ද ඒ මහතා පවසා සිටියි.

ඒ අනුව සිය ජීවිතයේ නව පරිච්ඡේදයක්ද සමගින් අනාගතයේදී මුණ ගැසීමට බලාපොරොත්තුව සිටින බවත්, වැරැද්ද සහ නිවැරැද්ද හරි ලෙස පෙන්වා දෙමින්, මේ කුඩා දිවයිනේ ඇති නව තාක්ෂණයේ සීමාවන් තවත් ඉදිරියට රැගෙන යාම සඳහා තමන් කැපවෙන බවත් ඔහු අවසන් වශයෙන් පවසා තිබේ.

Visits: 396