ශල්‍යකර්ම ප්‍රමාදවීම වැළැක්වීමට රජය පෞද්ගලික රෝහල් ශල්‍යාගාර කුලියට ගැනීමට යයි

රජයේ රෝහල් තුළ දැනට පවතින ශල්‍යාගාර සහ ශල්‍යකර්ම තදබදය මඟහරවා ගැනීම සඳහා කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ලංකාදීප වෙබ් අඩවිය මගින් පළ කෙරුණු පුවතක් තුළ මේ පිළිබඳ කරුණු සඳහන්ව තිබේ. ඒ අනුව මෙම කාරණයට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට වහාම තමන්ට බාර දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයිද වෙබ් අඩවිය පවසයි.

ජාතික රෝහලේ මෙන්ම කොළඹ අවට රෝහල් රැසක ශල්‍යාගාරවල ඉඩ පහසුකම් මදිකම නිසා  රෝගීන්ට  ශල්‍යකර්ම කර ගැනීමට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව ඇති බවට ලැබුණු තොරතුරු මත සාගල රත්නායක මහතා මෙම පියවර ගෙන තිබෙි.

මෙහිදී පෞද්ගලික රෝහල් කිහිපයක අධ්‍යක්ෂවරුන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ ගැන සාකච්ඡා කර තිබෙන අතර ඊට ඔවුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණ බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කළ බවත් වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව පෞද්ගලික රෝහල් ශල්‍යාගාරවල ශල්‍ය කර්ම නොකෙරෙන අවස්ථාවල රජයේ රෝහල්වලට යම් සාධාරණ කුලියකට ලබාදිය හැකි බව පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් සාගල රත්නායක මහතාට දැනුම් දී  තිබේ.

පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ලබා ගන්නා ආකාරයත්, රජයේ විශේෂඥ වෙද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ඊට යොමු කරන ආකාරය ගැනත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට බාර දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට දැනුම් දී ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 91