“සති අන්තයේ විදුලි කප්පාදු කාලය බොහෝ විට අඩුවේවි” – විදුලිබල ඇමති සහ PUCSL කියයි

ලංකා විදුලිබල මණ්ඩලය මගින් සති අන්තයේදී විදුලි කප්පාදුව අඩු කිරීමට කටයුතු කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අදහස් පළ කරයි.

අද පස්වරුවේ සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. වර්ෂාව ලැබීමත් සමගින්ම ජල විදුලිබල උත්පාදනය ඉහළ යාම සහ බලශක්ති ඉල්ලුම අඩුවීම යන කාරණා ඊට හේතු වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ජලවිදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශ වෙත ලැබෙන වර්ෂාපපතනය තවදුරටත් එලෙසින්ම ලැබුණහොත් ලංකා විදුලිබල මණ්ඩලය මෙලෙස සිය විදුලි කප්පාදුව අවමයක් දක්වා අඩු කරනු ඇතැයි අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලය දැනට තමන් සතු ජල සම්පත ඉදිරි බලශක්ති උත්පාදනය වෙනුවෙන් කළමනාකරණය කරනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර අද සන්ධ්‍යාවේදී නිවේදනයක් නිකුත් කල මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාද, හෙට (15) දිනය සඳහා පැය 1කුත් විනාඩි 20ක විදුලි කප්පාදුවක්ද, අනිද්දා (16) දිනය සඳහා පැය දෙකකුත් විනාඩි 20ක විදුලි කප්පාදුවක්ද සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදුන් බව පවසා සිටියේය.

එසේම ලබන 17 වැනි සඳුදා දිනයේදීද මෙම විදුලි කප්පාදුව පැය 2 කුත් විනාඩි 20ක් ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

මෙහිදී මූලිකවම තාපවිදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීම මෙම ඉල්ලුම කළමනාකරණයට හේතුව බව සභාපතිවරයා පවසයි.

එහෙත් ජල විදුලිබලාගාර ආශ්‍රිතව පවතින වැසි ප්‍රමාණය අනුව විදුලි ඉල්ලුම කලමනාකරණය කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීමටද ඉඩ ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ දත්ත අනුව ඊයේ දිනයේදී මෙරට සමස්ත විදුලි බල උත්පාදනය වන ගිගාවොට් පැය 37.39කින් ගිගාවොට් පැය 19.13ක්ම උත්පාදනය කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ජල විදුලිබලාගාරවලිනි.

මේ තත්ත්වයත් සමගින්ම ඊයේ දිනයේදී සමස්ත විදුලිබල උත්පාසනයෙන් ගිගාවොට් පැය 21.46ක් පුනර්ජනනීය බලශක්ති හරහා ලැබී ඇති අතර, එය 57.39%ක ප්‍රතිශතයකි. එසේම ෆොසිල ඉන්ධන දහනය හරහා උත්පාදනය කර ඇති විදුලිය ගිගාවොට් පැය 15.93කි. එය 42.61$ක ප්‍රතිශතයකි.

එසේම ඊයේ දිනයේදී මෙරට උපරිම විදුලිබල ඉල්ලුම මෙගාවොට් 1713ක් ලෙස සටහන්ව තිබේ. ඒ අතරින් මෙගාවොට් 1093.2ක් සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක වී ඇති අතර, ෆොසිල ඉන්ධන දායකත්වය මෙගාවොට් 619.8 කි.

Visits: 60