ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල්හි නිරීක්ෂණයක

ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පෙරේදා දිනයේදී කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීමේ සමාගම වන කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගමේ (CWIT) කාර්යාලය වෙත පැමිණි බව එම සමාගම පවසයි.

මෙහිදී බාලේන්ද්‍ර මහතා සමගින් ජෝන් කීල්ස් සමූහයේ නියෝජ්‍ය උප සභාපති සහ සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ මහතාද එක්ව තිබේ.

මෙම ගමනේදී ඔවුන් දෙපළ සහ සමූහයේ නිලධාරීන් එම ව්‍යාපෟතියට සම්බන්ධ සමස්ත කණ්ඩායම මගින් කතාබස් කළ බවත්, ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කළ බවත් CWIT සමාගම පවසයි.

එසේම ඉදිරියේදීද ජෝන් කීල්ස් සමූහය සමගින් මෙවැනිම වූ සාර්ථක සාකච්ඡා සිදු කිරීමටත් බලාපොරොත්තුව සිටින බවත් එම සමාගම සඳහන් කරයි.

මෙම කොළඹ බටහිර පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්වකරුවන් වන ඉන්දියාවේ අදානි පෝර්ට්ස් සමාගම, එහි මෙරට නියෝජිතයා වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම CWIT සමාගම පිහිටුවා තිබේ.

මෙහිදී එම සමාගම තුළ අදානි පෝර්ට්ස් සමාගම සතු කොටස් ප්‍රමාණය 51%කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙත 34%ක කොටස් ප්‍රතිශතයක් හිමි අතර ඉතිරි 15%ක කොටස් ප්‍රතිශතයක ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිය.

ශ්‍රී ලංකා රජය සමගින් ඇති කරගත් ගොඩනැගීම, මෙහෙයුම් සිදු කිරීම සහ හුවමාරුව (BOT) යන එකඟතාව යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියේ කාලසීමාව වසර 35කි.

Visits: 117