එලෝන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ජපානය වෙත පිවිසෙයි

ලොව අංක එකේ ධනවතා වන එලෝන් මස්ක් විසින් හඳුන්වාදී ඇති චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් අන්තර්ජාල සම්බන්ධතා සැපයීම සඳහා වන SpaceX සමාගමේ Starlink සේවාව පසුගිය අඟහරුවාදා ජපානය තුළ සිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවසයි.

SpaceX සමාගම සිය නිල ට්විටර් ගිණුම තුළ පණිවුඩයක් තබමින් මේ බව අනාවරණය කර සිටියි. “Starlink ජපානය තුළ සිය සේවාවන් දියත් කළා.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

ඒ අනුව මස්ක්ගේ මෙම පහසුමිලට අන්තර්ජාල සේවා සැපයීම සිදුකරන Starlink සේවාව ක්‍රියාත්මක කෙරෙන පළමු ආසියානු රට බවටත් ජපානය පත්ව තිබේ. අද වනවිට ලොව පුරා රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක මෙම Starlink සේවාව ක්‍රියාත්මක වෙමින් ඇත.

එසේම මෙම චන්ද්‍රිකා සන්නිවේදනය පාදක අන්තර්ජාල පහසුකම් යටතේ තත්පරයට මෙගාබිට් 50ත් 200ත් (50-200 Mbps) වේගයක් ලැබෙන බවත් Starlink වැඩසටහන පවසයි.

මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව වඩාත් අඩුමිල සේවාවක් ලෙස හඳුන්වාදී තිබේ. එසේම අන්තර්ජාල සන්නිවේදන පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශ වෙතත් එම පහසුකම් සැලසීම එහි අරමුණ වී ඇත. මේ සඳහා පසුගිය සැප්තැම්බර් මාසය වනවිට SpaceX සමාගම මගින් චන්ද්‍රිකා 2,300කට අධික සංඛ්‍යාවක් කක්ෂගත කර ඇතැයිද සඳහන් වෙයි.

එසේම සැප්තැම්බර් මාසය වනවිට සිය Starlink වැඩසටහන ලෝකයේ සෑම මහාද්වීපයක් පුරාම ක්‍රියාත්මක වන බවත් එලෝන් මස්ක් මීට පෙර පවසා තිබුණි.

Visits: 137