Aeroflot ගුවන් සේවය අද සිට යළිත් ශ්‍රී ලංකාව මෙහෙයුම් අරඹයි

රුසියාවේ ජාතික ගුවන් සමාගම වන Aeroflot ගුවන් සේවය අද (09දා) දිනයේ සිට ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් යළිත් ඇරඹීමට නියමිතව ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ සිට රුසියාව සහ කොළඹ අතර සතියකට Aeroflot ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වනු ඇතැයි අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබේ.

පසුගිය ජූනි මාසයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි Aeroflot ගුවන් යානයක් ජාත්‍යන්තර නීතිය අනුව රඳවා තබා ගැනීමේ සිදුවීමෙන් අනතුරුව එම ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙතසිදු කරන ගුවන් ගමන් අත්හිටුවීය. පසුව ශ්‍රී ලංකා රජය විසින් රුසියානු රජය වෙත සිදුකළ කරුණු පැහැදිලි කිරීමකින් පසුව යළිත් එම ගුව්න ගමන් ඇරඹීමට එකඟතාව පළ විය.

ශ්‍රී ලංකාව වෙත වැඩිම සංචාරකයන් පිරිසක් රැගෙන එන ගුවන් සේවයක් ලෙස මෙම Aeroflot හඳුනාගෙන තිබූ අතර, මෙම තහනමත් සමගින් පසුගිය ජූනි මාසයේ සිට ගත වුණු මාස පහක පමණ කාලයක් පුරා රුසියානු සංචාරකයන්ගේ පැමිණීම් දරුණු කඩාවැටීමක් පෙන්නුම් කෙරිණි.

මේ අතර රුසියාවේ Azut Air ගුවන් සේවයත් ලබන නොවැම්බර් මාසය මුලදී සි සෑම සතියකටම විශේෂිග ගුවන් ගමන් වාර හතරක් බැගින් ක්‍රියාත්මක කරනු ඇතැයි සංචාරක අමාත්‍යවරයා සිය ට්ව්ටර් සටහනේ තබා තිබේ.

ඒ අනුව මෙම අවස්ථා දෙක හරහාම ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට සහ රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර රුසියාවත් යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපයත් සම්බන්ධ කරමින් ඉදිකර තිබූ පාලමේ ඇති වූ ගිනි ගැනීම ඇතුළු සිද්ධියත් සමගින්ම රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ සිට සිදු කරන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට රුසියානු බලධාරීන් අද තීරණය කරතිබේ.

Visits: 63