ඉන්දියානු මහ බැංකුව ඉ-රුපියලක නියමු ව්‍යාපෘතියක් නිවේදනය කරයි

ඉන්දියාව තුළ නව ඩිජිටල් මුදල් ඒකකයක නියමු ව්‍යාපෘතියක් ඇරඹීමට පියවර ගන්නා බව ඉන්දියානු සංචිත බැංකුව (RBI) හෙවත් ඉන්දියානු මහ බැංකුව පවසයි. මෙය ඉ-රුපියලයක් ලෙස නම් කෙරී තිබේ.

ඩිජිටල් ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂිත අවස්ථාවන් සඳහා භාවිතයට ගත හැකි ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන බව පැවසෙයි. පසුගිය සිකුරාදා දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

එහිදී මෙය මහ බැංකු ඩිජිටල් මුදල් එකකයක් (CBDC) ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පැවසෙයි. මේ හරහා ඉන්දියාව තුළ ඩිජිටල් ආර්ථිකයක් වර්ධනයට අමතරව ගෙවීම් ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ පරීක්ෂා කිරිම සඳහා දායක වනු ඇතැයි ඉන්දියානු මහ බැංකුවේ අදහස වී තිබේ.

“ඉන්දියාව තුළ නවීනතම මාදිලියේ ඩිජටල් මුදල් ඒකකයක් යොදා ගැනීම මගින් කාටත් මිලදී ගත හැකි, කාටත් යොමු විය හැකි, ඉතාමත් පහසු, කාර්යක්ෂම, සුරක්ෂිත සහ ආරක්ෂිත ගෙවුම් ක්‍රමවේදයක් වෙත යොමුවීමේ අවස්ථාව පවතිනවා. මේ ඩිජිටල් රුපියල් ක්‍රමවේදය ඉන්දියාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට, මුදල් සහ ගෙවුම් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරිමට මෙන්ම මූල්‍ය අන්තර්ගතභාවය වෙත දායකත්වයක් ලබා දේවි.” යනුවෙන් ඉන්දියානු මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙලෙස ඉන්දියානු මහ බැංකුව මගින් නිකුත් කරන මෙම ඩිජිටල් මුදල් ඒකකය පොදු භාවිතය යටතේ කාණ්ඩ දෙකක් ලෙස වර්ග කෙරී තිබේ. එහිදී සිල්ලර ගනුදෙනු සඳහා වන මුදල් ඒකකය CBDC-R සහ තොග ගනුදෙනු සඳහා එය CBDC – W ලෙස නම් කෙරී ඇත.  

අද වනවිට ලොව පුරා මහ බැංකු 60 කට අධික සංඛ්‍යාවක් මෙවැනි CBDC මාදිලියේ ඩිජිටල් මුදල් ඒකකවල නියමු ව්‍යාපෘති දියත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ හරහා මෙම ක්‍රමවේදයේ ඇති පහසුකම් පිළිබඳව විමර්ෂණය සහ සොයා බැලීම අරමුණ වී තිබේ. මේ හරහා තම රටවල අවශ්‍යතාවන්ට ගැලපෙන වඩාත් සාර්ථක ඩිජිටල් මුදල් ඒකකයක් හඳුනාගැනීම අපේක්ෂාව වී ඇත.

Visits: 157