සපුගස්කන්ද පිරිපහදුව අද දිනයේ සිට යළි වසා දැමේ

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද දිනයේ සිට යළිත් වසා දැමෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැතිවීම මීට හේතුව බව ඔහු සඳහන්කරයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියි.

මෙහිදී දැනට සපුගස්කන්ද පිරිපහදුව මගින් භාවිතා කර ඇති Ural බොරතෙල් නැව් දෙක සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැතිවීම මෙලෙස පිරිපහදුව වසා දැමීමට හේතුව වූ බව අමාත්‍යවරයා පවසයි.

එහෙත් බොරතෙල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් සහිත MT ESPO නෞකාවක් පසුගිය දින 10ක කාලයක් පුරා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටිනබවත්, එම බොරතෙල් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය හිමි වූ වහාම එම බොරතෙල් ගොඩබැසීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් රට තුළ කිසිදු පිරිපහදු නිෂ්පාදනවල හිඟයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

“රට තුළ කිසිදු ආකාරයක පිරිපහදු නිෂ්පාදනවල හිඟයක් දැනට නැහැ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව සියලුම නිෂ්පාදනවල ප්‍රමාණවත් තරම් තොග පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පිරිපහදු නිෂ්පාදන සඳහා සතිපතා අවශ්‍ය කෙරෙන විදේශ විනිමය ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

Visits: 69