ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථීක ප්‍රතිසංශෝධන තීරණාත්මකයි – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ප්‍රතිසංශෝධන තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව ලෝක බැංකුව පවසයි. ඊයේ (06දා) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව මෙම කරුණු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතයෙන් ඇතිවූ අයහපත් බලපෑමට අමතරව තිරසාර නොවන ලෙස ණය බර ඉහළ යාම සහ ගෙවුම් ශේෂයේ පැවති බරපතල අසමතුලිතතාවයන් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බුදය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින බවත් ලෝක බැංකුව මෙම නිවේදනය මගින් පහදා වෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථීකයේ ගැඹුරු ප්‍රතිසංශෝධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම  ආර්ථීකය ස්ථාවර තත්වයට ගෙන ඒම සඳහා අතිශයින් වැදගත්වන බව ලෝක බැංකුව විසින් වසරකට දෙවතාවක් නිකුත් කරන වාර්තාවේ සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදකාරී තත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව නංවාගැනීමේ වැදගත්කමද මෙහි අවධාරණය කර තිබේ.

ඊයේ නිකුත් කරනු ලැබූ South Asia Economic Focus, Coping with Shocks: Migration and the Road to Resilience, යන නවතම වාර්තාව මගින් මෙම වසරේ දකුණු ආසියානු කළාපයේ ආර්ථීක  වර්ධනයේ සාමාන්‍යය 5.8% වනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙය ජූනි මාසයේදී සිදුකරන ලද පූරෝකථනයට වඩා 1% පහළ යාමකි. මෙය 2021 වසරේදී බොහොමයක් රටවල් වසංගත තත්වයෙන් ඇතිවූ පසුබෑමෙන් පසුව නැවත යථාතත්වයට පත්වෙමින්  පවතින අවස්ථාවේ ඇතිවුණු 7.8% ක වර්ධනයට සාපේක්ෂව අඩු අගයකි.   

ආර්ථීක පීඩනය සියලූම දකුණු ආසියානු රටවලට බලපෑමක් ඇතිකරමින් පවතින අතර සමහර රටවල් අනෙකුත් රටවල්වලට වඩා හොඳින් මෙම තත්වය කළමණාකරණය කරගනිමින් සිටියි. කළාපයේ විශාලතම ආර්ථීකය වන ඉන්දියාවේ අපනයන සහ සේවා අංශ ලෝකයේ සාමාන්‍යයට වඩා ශක්තිමත් අන්දමින් යථාතත්වයට පත්වී ඇති අතර විදේශ සම්පත් ප්‍රමාණාත්මකව පැවතීම බාහිර කම්පනයන්ට මුහුුණදීමට උපකාර වී ඇත. සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීම මාලදිවයිනේ  සහ යම් මට්ටමකට නේපාලයේ ද ආර්ථීක වර්ධනයට හේතු  විය.

කොවිඩ් 19 මගින් ඇති කරණු ලැබූ බලපෑම සහ යුක්රේනයේ පවත්නා යුද්ධය නිසා භාණ්ඩවල මිළගණන් වාර්තාගත අන්දමින් ඉහළ යාම ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති කළ අතර මෙම තත්වය ණය මගින් ඇතිවී තිඛෙන පීඩනය වැඩි කිරිමටත් විදේශ විනිමය සම්පත් අඩු කිරීමටත් හේතු විය. මෙතෙක් කල් වාර්තාවූ දරුණුතම ආර්ථීක අර්බුදයට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ මූර්ත  දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේදී දී 9.2 % ප්‍රතිශතයකින් සහ 2023 දී 4.2% ප්‍රතිශතයකින් පහළ යනු ඇතැයි අපෙක්ෂා කෙරේ. පාරිභෝගික භාණ්ඩවල මිළ ගණන් ඉහළ යාම පාකිස්ථානයේ ද බාහිර අසමතුලිතාවයන් නරක අතට පත්වීමටත්  විදේශ සම්පත් පහළ යාමටත් හේතු විණි. කාළගුණික වෙනස්කම් මගින් ඇතිවූ ජලගැලීම් තත්වයන් නිසා පකිස්ථානයේ තුනෙන් එකක් ජලයට යටවූ අතර එහි ආර්ථික පූරෝකථන සැලකියයුතු මට්ටමෙන්  අවිනිශ්චිතතාවයකට පත් කර තිබේ.

මේ වාර්තාව සමගම නිකුත් කරන ලද  Sri Lanka Development Update October 2022 Edition මගින් ආර්ථික අර්බුදය හේතුවෙන් දරිද්‍රතාවයට සහ අවදානමට ලක්විය හැකි ජනගහනයට ඇතිවී තිබෙන බලපෑම සහ මෙම අවස්ථාවේ සමාජ ආරක්ෂණයේ වැදගත්කම අවධාරණය  කරනු ලබයි.   

“ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට කඩිනම් ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදුකරනු ලබන මෙම අවස්ථාවේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම අන්ත දිළිඳු සහ දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීමට ඉතා කඩිනම් විසඳුම් ලබා දීම අවශ්‍ය  බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂක ෆාරිස් එච්. හඩාඩ්-සර්වෝස් මහතා විසින් පැවසීය.

“ආර්ථීක අර්බුදය හමුවේ, දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය මිලියන 2.7  කින් වැඩි  වූ අතර 2021 වසරේ දී 13.1% වූ දරිද්‍රතාවය 2022 වසරේ සියයට 25.6% දක්වා දෙගුණයකින් වැඩිවන බවට ඇස්තමේන්තු කර තිබේ.”

අර්බුදයේ බලපෑම් අවම කර ගැනීමට සහ ජනතාවට ඒ සඳහා මුහුණ දීමේ දිගුකාලීන හැකියාව වර්ධනය කිරීම සඳහා කර්මාන්ත හා සේවාවල රැකියා අවස්ථා පුළුල් කරමින්  මූර්ත අදායම  නැවත යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට සහ අවදානමට ලක්වූවන්ට සහය වීමට සම්බන්ධීකරණ කරන ලද ප්‍රවේශයක අවශ්‍යතාවය හඩාඩ්-සර්වෝස් මහතා තවදුරටත්  අවධාරණය කරයි.

1997 ඇති වූ ආසියානු මූල්‍ය අර්බුදයෙ අත්දැකීම හා සංසදනය කරමින් මෙවර South Asia Economic Focus වාර්තාව ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බුදය කෙරෙහි විශේෂ  අවධානයක් යොමුකර ඇත .

“ශ්‍රී ලංකාව සිය ආර්ථීකයේ  දරුණුතම ආර්ථීක අවපාතයට මුහුණ දී ඇති බැවින්, 1980 වසරේ ලතින් ඇමරිකාවේ ඇති වූ ආර්ථීක අර්බුදය සහ 1997 ආසියානු මූල්‍ය අර්බුදය වැනි ගෝලීය අත්දැකීම්  සලකා  බැලීම විසඳුම් ක්‍රියාමාර්ග සොයා ගැනීමේදී උදව් විය හැකියි.” යැයි ලෝක බැංකුවේ දකුණු ආසියාවේ ප්‍රධාන ආර්ථීක විද්‍යාඥ හාන්ස් ටිමර් මහතා  පැවසීය.

ශ්‍රී ලංකාවට අවධානය යොමු කල යුතු ආසියානු මූල්‍ය අර්බුදයේ ප්‍රධාන අත්දැකීම් දෙකක් කෙරෙහි මෙම විශේෂ වාර්තාව අවධානය යොමු කරනු ලබයි. පළමු වැන්න  ආර්ථිකයේ , ව්‍යුහාත්මක දුර්වලතා සඳහා විසඳුම් ලබා දීම සහ ආර්ථිකයේ බාහිර කම්පන සහ අනාගත කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා කෙටි කාලීන ක්‍රියාමාර්ග  අනුගමනය කිරීමයි. දෙවැන්න, අනාගත වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා තීරණාත්මක/ශක්තිමත් ප්‍රතිපත්ති  අනුගමනය කිරීමයි.

Visits: 140