එයාර් ලංකා – ශ්‍රී ලංකන් කර ලාභ උපයා අද දිනයේදී Fits Air අරඹන කවුද මේ පීටර් හිල්?

ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් සමූහයට අයත් Fits Air ගුවන් සේවය අද දිනයේදී මගී ප්‍රවාහන ගුවන් මෙහෙයුම් අරඹමින් සිය මංගල ගුවන් ගමන සිදු කිරීමට නියමිතව තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එම සමාගම මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ. එම සමාගම මගින් මිලදී ගත් එයාර්බස් A320-200 ගුවන් යානයක් මගින් මෙම සේවා සැපයෙයි. මෙය අඩුමිල ගුවන් සේවා යටතට ඇතුළත් වෙයි.

ඒ අනුව කොළඹ සිට ඩුබායි, මාලදිවයින සහ දකුණු ඉන්දියාව දක්වා වන ගමනාන්ත වෙත මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී කොළඹ සිට ඩුබායි ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, සතියකට ගමන්වාර 3ක් ඩුබායි වෙත යාම සිදු වෙයි. එසේම කොළඹ සිට මාලදිවයින දක්වා ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ කෙරෙන අතර එහිදීද සතියකට ගුවන් ගමන් වාර 3ක් සිදු කරයි.

මීට අමතරව කොළඹ සිට  දකුණු ඉන්දියාව දක්වා වන ගුවන්ගමන් නුදුරේදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද Fits Air ගුවන් සමාගම පවසයි.

අද දිනයේදී මෙලෙස ව්‍යාපාරික මෙහෙයුම් අරඹන Fits Air මගී ගුවන් සේවයේ මගී මෙහෙයුම්හි උප සභාපතිවරයා වන්නේ ජාත්‍යන්තරයේ මෙන්ම මෙරට තුළත් වසර 50කට වඩා වැඩි කාලයක් පුරා ගුවන් සේවා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පීටර් හිල් මහතාය.

“Fits Air ගුවන් සේවය මගින් තරගකාරී මිල ගණන් යටතේ ගුවන් පියාසැරි සිදු කිරීමට අවශ්‍ය ශ්‍රී ලාංකික සංචාරකයන් සඳහාම වෙන්වූවක්. ඒ සඳහා වන අවස්ථාවන් සහ පහසුකම් රැසක්ම අප සතුයි.” යනුවෙන් ඒ මහතා මෙම ගුවන් සේවය හඳුන්වාදීමේ අවස්ථාවේදී පවසා සිටියේය.

පීටර් හිල් මහතා කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද කටයුතු කරමින්, එය ලාභ උපයන තත්ත්වයට පත් කිරීමට දායකත්වය ලබාදුන් ප්‍රධානම චරිතය වීම ඔහු පිළිබඳව අවධානය යොමු වීමට ප්‍රධානම හේතුව වී තිබේ.

1998 මාර්තු මාසයේ සිට 2007 වසරේ දෙසැම්බර් දක්වා එක්සත් අරාබි එමිරයේ එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය යටතේ ඔහු එම ධුරය දැරුවේය. එවකට එයාර් ලංකා නමින් හැඳන්වුණු ගුවන් සේවය ශ්‍රී ලංකන් නමින් ප්‍රතිසන්නාමකරණයට ලක් කළේද පීටර් හිල් මහතාගේ මූලිකත්වයෙනි.

මෙලෙස ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වීමෙන් අනතුරුව ගුවන් සේවය සඳහා පස් අවුරුදු ව්‍යාපාරික සැලසුමක් ඉදිරිපත් කළේය. එහි පළමු කටයුත්ත ලෙස ගුවන් සේවය ශ්‍රී ලංකන් ලෙස නම් වෙනස් කිරිමක් සිදු කෙරිණි.

එසේම ගුවන් සේවය සඳහා නවතම එයාර්බස් A330-320 මාදිලියේ ගුවන් යානා ඇනියක් එක් කිරීම සිදු වූයේද ඒ මහතා යටතේදීය. මීට අමතරව ගුවන් සමාගම එතෙක් සිදුකළ ගමනාන්ත යළිත් සකස් කර වඩාත් ලාභදායී ගමන් මාර්ග ජාලයක් දක්වා එය පුළුල් කිරීමටත් ඔහු මැදිහත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම යටතේ කළමනාකරණය වූ වසර 10ක කාලයකින් වසර අටක්ම ලාභ ලබන තත්ත්වයට පත් වූ වූ අතර, ශ්‍රී ලංකා රජය හෝ එමිරේට්ස් සමාගම මගින් කිසිදු අමතර අරමුදල් සම්පාදනයක් සිදු නොකරන තත්ත්වයටකටද පත් කෙරිණි.

එසේම 2001 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල වූ LTTE ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඇති වූ තත්ත්වය සාර්ථකව කළමනාකරණය කිරිමටද පීටර්හිල් මහතා සමත්විය. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත්ව තිබූ යානා ඇණියෙන් අඩක් පමණ විනාශවීම හෝ අලාභහානි වීම සිදුවිය.

එසේම ඉන්දියානු සංචාරකයන් හරහා මෙරට සංචාරක කර්මාන්තය වෙත ලැබෙන අවස්ථාවන් හොඳින් තේරුම් ගත් ඔහු 2007 වසරේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දකුණු ආසියාවේ ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය බවටද පත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට සතියකට ඉන්දියාව වෙත ගුවන් ගමන් 100ක් සිදු කරන පළමු ගුවන් සමාගම බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය පත් කිරීමට ඔහු සමත්විය.

කෙසේ වෙතත් දේශපාලනමය තීන්දුවකට අනුව 2008 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය යළිත් ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමට පියවර ගැනීමෙන් අනතුරුව පීටර් හිල් මහතා එම ධුරයෙන් ඉවත් විය. ඉන් අනතුරුව ඔහු ඕමාන් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ අතර 2011 දක්වා ඔහු එම ධුරය දැරීය.

එසේම අනතුරුව 2015 වසරේදී ඔහු ඇන්ගෝලාවේ TAAG Angola ගුවන් සේවය හා සම්බන්ධවෙමින් එහි සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්විය. එහිදී ඔහුගේ මූලිකත්වයෙන් ගුවන් සමාගම වෙත දස වසරකස උපායමාර්ගික ව්‍යාපාරික සැලසුමක් ඉදිරිපත් කෙරිණි. 2017 වසර දක්වා ඔහු එම ධුර දැරීය.

පීටර් හිල් මහතාගේ වෘත්තීමය වාර්තා සහ තොරතුරුවලට අනුව වසර පහකට පසුව යළිත් ඔහු ගුවන් සේවයක් සමගින් සම්බන්ධ වී ඇති අතර, වසර 15කට පසුව ශ්‍රී ලංකාවේ ගුවන් සේවයක් හා සම්බන්ධ වී තිබේ.

ඒ අනුව හිල් මහතා සතු අත්දැකීම් සහ දැක්ම යටතේ Fits Air ගුවන් සේවය මෙරට තුළ වඩාත් සාර්ථක අඩු මිල ගුවන් සේවයක් බවට පත් කිරීම ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් සමූහයේ අරමුණ වී තිබේ.

මීට පෙර Expo Aviation ලෙසින් හැඳින්වුණු fitsAir ගුවන් සේවය සතුව වසර 25කට අධික කාලයක් පුරා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අත්දැකීම් පවතී. දැනට වසරකට පමණ පෙරාතුව එම සමාගම A320-200 මාදිලියේ ගුවන් යානයක් මිලදී ගනිමින් සිය මගී ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනුණි. අද වනවිට FitsAir සතුව එම මාදිලියේ ගුවන් යානා තුනක් ඇත.

මෙලෙස අද දිනයේදී ගුවන් ගමන් අරඹන එයාර්බස් A320-200 ගුවන් යානය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි ගුවන් යානයක් වන අතර, එය සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ මෙහෙයුම් සිදු කරන්නකි.

එසේම ගුවන් සේවයේ සියලුම තාක්ෂණික සහ ගුවන් යානා අභ්‍යන්තර කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත වන බවත් ඒ අතර අත්දැකීම් සහිත ගුවන් සේවා වෘත්තිකයන් සහ පූර්ණ සුදුසුකම් සහිත නවකයන්ද ඇතුළත් වන බවත් FitsAir ගුවන් සමාගම සඳහන් කරයි.

Visits: 390