මෙරට තුළ බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ආයෝජනයට ඔස්ට්‍රේලියාවේ අවධානය

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පවතින ශක්‍යතා පිළිබඳව අවධානය යොමු කරන බව නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පැවසූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පසුගියදා විදේශ කටයුතු  අමාත්‍යංශයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු සමාගම්වලට ඇරයුම් කර සිටින බවත් මෙහිදී පැවසූ බව අමාත්‍යාංශය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු  දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සුබපැතුම් පළ කර තිබේ.

එසේම දේශීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව මෑතක දී පිරිනැමූ කඩිනම් මානුෂීය ආධාර මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

මෙම හමුවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා බහුපාර්ශ්වික මට්ටමෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳවද මහ කොමසාරිස්වරයා සමගින් සාකච්ඡා කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වී ඇත.

Visits: 44