බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්හි Nation Brands වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව ස්ථාන හයක් පසු බසී

ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම වර්ගීකරණ ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brad Finance Inc.) මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන ලොව වඩාත් වටිනාකමින් යුත් Nation Brands (ජාතික සන්නාමකරණ) වර්ගීකරණය යටතේ 2022 වසර සඳහා වන දර්ශකයේදී ශ්‍රී ලංකාව 74 වැනි ස්ථානයට පත්ව ඇතැයි පවසයි.

ශ්‍රී ලංකාව පසුගිය 2021 වසරේදී මෙම Nation Brands වර්ගීකරණයේ 68 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව එහි ස්ථාන හයක් පසුපසට ගොස් තිබේ. 2020 වසරේදී ශ්‍රී ලංකාව 68 වැනි ස්ථානයේම පසුවිය.

මෙම වාර්තාවට අනුව ඉන්දියාව හත්වැනි ස්ථානයේ පසුවෙයි. එහිදී ඉන්දියාවේ ජාතික සන්නාමයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 2,596ක් හෙවත් ට්‍රිලියන 2.6ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 400ක ඉහළ යාමකි.

සෑම වසරකදීම ලොව වඩාත් වටිනාම සහ ශක්තිමත්ම ජාතික සන්නාමය වර්ගීකරණය වෙනුවෙන් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය සැප්තැම්බර් මාසයේදී මෙම Nation Brand Value Report වාර්තාව නිකුත් කරයි.

මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් දර්ශකයට අනුව 2022 වසර සඳහා ලොව වඩාත් වටිනාකම ජාතික සන්නාමය බවට පත්ව ඇත්තේ එක්සත් ජනපදයයි. එහිදී එරට ජාතික සන්නාමයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 26,472කි. දෙවැනි ස්ථානයේ පසුවන චීනයේ ජාතික සන්නාමයේ වටිනාකම ඩොලර් බිලියන 21,528ක් වෙයි. පසුගිය වසරේදීද පළමු සහ දෙවැනි ස්ථානයේ පසුවූයේ මෙම රටවල් දෙකයි.

ඩොලර් බිලියන 4,504ක වටිනාකමක් සමගින් ජර්මනිය මෙම දර්ශකයේ 3 වැනි ස්ථානයට පත්ව තිබේ. පසුගිය වසරේදී එය සිව්වැනි ස්ථානයේ පසුවිය. පසුගියවසරේ තෙවැනි ස්ථානයේ පසු වූ ජපානය මෙවර ඩොලර් බිලියන 4,284ක වටිනාකමක් සමගින් සිව්වැනි ස්ථානයට පසුබැස තිබේ.

2021 වසරේ පස්වැනි ස්ථානයේ පසු වූ එක්සත් රාජධානිය ඩොලර් බිලියන 4,115ක් සමගින් මේ වසරේදීද එම ස්ථානයේම පසුවෙයි. පසුගිය වසරේදී 6 වැනි ස්ථානයේ පසුවූ ප්‍රංශය ඩොලර් බිලියන 3,152ක වටිනාකමක් සමගින් මෙවරත් හයවැනි ස්ථානයේ පසුවෙයි.

පෙර වසරේදී මෙන් මේ වසරේදීද හත්වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ ජාතික සන්නාම වටිනාකම ඩොලර් බිලියන 2,595කි. අටවැනි සහ නවවැනි ස්ථානවල පසුවන කැනඩාව සහ ඉතාලිය පිළිවෙලින් ඩොලර් බිලියන 2,238ක සහ 2,155ක වටිනාකම් හිමි කරගෙන තිබේ.

දහ වැනි ස්ථානය දකුණු කොරියාවට හිමි ඇති අතර, එරට Nation Brand හි වටිනාකම ඩොලර් බිලියන 1,911කි.ප පසුගිය වසරේදීද දකුණු කොරියාව මෙම ස්ථානයේ පසුවිය.

මේ අතර මෙම නවතම  Nation Brand Value Report වාර්තාවට අනුව රුසියාවේ සන්නාම වටිනාකම ඩොලර් බිලියන 150කින් පහත වැටී තිබේ. ඒ අනුව පසුගියවසරේදී ඩොලර් බිලියන 768ක්ව තිබූ මෙම ජාතික සන්නාමයේ වටිනාකම මෙවර ඩොලර් බිලියන 642ක් දක්වා වැටී තිබේ. යුක්රේන ආක්‍රමණය නිසා එරට හා සම්බන්ධ වාණිජ සන්නාම වෙත  එල්ල වූ හානිය මින් පිළිබිඹු වන බව Brand Finance ආයතනය පවසයි.

Visits: 89