අදානි සමාගම ඉදිරි දශකයේදී ඩොලර් බිලියන 100ක ආයෝජන සිදු කිරීමේ සූදානමක

ඉන්දියාවේ අදානි සමූහය ඉදිරි දශකය තුළදී එක්සත් ජනපද ඩොලර් බිලියන 100කට අධික ආයෝජන සිදු කිරීමට සූදානමින් සිටින බව එහි සභාපති ගෞතම් අදානි පවසයි. මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙන Forbes Global CEO සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“සමූහයක් විදියට අපි ඉදිරි දශකයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 100ක ආයෝජන සිදු කිරීමට බලාපොරොත්තුව සිටිනවා. ඒ අතරින් 70%ක්ම ආයෝජන බලශක්ති ක්ෂේත්‍රය සඳහා සිදුවේවි.” යනුවෙන්ද ඔහු මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම සිය සමූහය දැනටමත් ලෝකයේ විශාලතම සූර්ය බලශක්ති සමාගම බවට පත්ව තිබෙන බවත්, ඉදිරියේදී එහි තවත් දුර යාමට අපේක්ෂා කරන බවත් අදානි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම  ආයෝජන සම්පාදනය කරගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔහු මෙහිදී වැඩිදුරටත් කරුණු අනාවරණය කර නැත.

වර්තමානයේදී ගෞතම් අදානිගේ පෞද්ගලික වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 143ක් ලෙස සටහන්ව ඇති අතර, ඔහු ලොව දෙවැනි විශාලතම ධනවතාද වෙයි. එසේම අදානි සමූහයේ ලැයිස්තුගත සමාගම්හි වර්තමාන වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයේ එකතු ඩොලර් බිලියන 260ක් ලෙස ගණන් බලා තිබේ.

Visits: 270