PUCSL සභාපතිට CPC නිතිමය මාර්ගයෙන් ප්‍රතිචාර දක්වනවා – බලශක්ති ඇමති කියයි

මෙරට තුළ පිරිපහදු කිරීම සඳහා ආනයනය කර ඇති බොරතෙල් හි ගුණාත්මකබව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා සිදු කර ඇති චෝදනාව පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නීතිමය මාර්ගයෙන් කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද දිනයේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාතයවරයා මේ බව පවසා තිබේ. විශේෂයෙන්ම අද දිනයේ සිට ක්‍රියාත්මක පැය 2 ක් සහ විනාඩි 20ක විදුලි කප්පාදුව සඳහා මූලිකම හේතුව සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව සඳහා ආනයනය කර ඇති බොරතෙල්හි පවතින ගුණාත්මක බවෙහි ගැටලුවක් බවට PUCSL හි සභාපතිවරයා මාධ්‍ය වෙත සිදු කර ඇති ප්‍රකාශයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඩීසල් සහ දැවි තෙල් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

එසේම ලංකා විදුලි බල මණ්ඩලය මගින් විදුලි කප්පාදු කාලසීමාව වැඩි කිරීම සඳහා ඉල්ලීම් සිදු කර ඇත්තේ ලක්ෂපාන විදුලිබලාගාරයේ ඇති වූ අඩපණවීමක් සහ ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් සපයා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට නොහැකි වීම නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති PUCSL සභාපති ජනක රත්නායක මහතා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින ආනයනය කර ඇති මෙම බොරතෙල්හි ඇති සල්ෆර් අනුපාතය ඉහළ බවත්, එම බොරතෙල් පිරිපහදුවෙන් ලැබෙන ඉන්ධන යොදා ගනිමින් තාප විදුලිබලාගාර හරහා  විදුලිය නිපදවිය නොහැකි බවත් ඔහු පවසා ඇත. ඒ අනුව මෙම ඉන්ධන පානය කිරීමට පමණක් සිදුව ඇතැයිද සභාපතිවරයා එහිදී සඳහන් කර තිබුණි.

PUCSL සභාපතිවරයා මීට පෙරද මාධ්‍ය වෙත අදහස් දැක්වීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආනයනය කරන පෙට්‍රල් ලීටරයක් රුපියල් 230ක මුදලකට පාරිභෝගිකයාට ලබා දිය හැකි බවට ප්‍රකාශ කළේය.

මේ අතර හෙට (27) සහ අනිද්දා (28) දෙදිනදීද පැය 2ක් සහ විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

Visits: 92