සැම්සුන්ග් සමාගම ඉන්දියාව තුළ ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කරයි

සුප්‍රසිද්ධ තාක්ෂණික උපාංග නිෂ්පාදන සමාගමක් වන සැම්සුන්ග් සමාගම ඉන්දියාව තුළ සිය ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වාදීමට කටයුතු යොදා තිබේ. අද දිනයේදී සැම්සුන්ග් ඉන්දියා සමාගමේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම කාඩ්පත නිල වශයෙන් එළිදැක්වීම සිදුවිය.

ඉන්දියාවේ Axis බැංකුව සහ Visa සමාගම හා එක්ව සම- සන්නාමකරණයෙන් යුක්ත (Co-branded) ආකාරයට මෙම නවතම ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වාදීමට සැම්සුන්ග් සමාගම පියවර ගෙන ඇත.

මෙම කාඩ්පත යොදා ගනිමින් වසරක් තුළ මිලදී ගන්නා ඕනෑම සැම්සුන්ග් උපාංගයක් වෙත 10෴ක මුදල් ආපසු ගෙවීමක් (Cashback) වාසියක් හිමිවන බවත් සැම්සුන්ග් සමාගම ප්‍රකාශ කර සිටියි.

මෙහිදී Signature සහ Infinite ලෙස මාදිලි දෙකක් යටතේ මෙම ක්‍රෙඩිට් කාඩ්පත් පාරිභෝගිකයන්ට නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අතරින් Signature මාදිලියේ කාඩිපතක වාර්ෂික ගාස්තුව බදු සමග රුපියල් 500කි. එසේම Infinite මාදිලියේ කාඩ්පතක් සඳහා වාර්ෂික ගාස්තුව බදු සමගින් රුපියල් 5,000කි.

ඒ අනුව Signature කාඩ්පත් හිමියන්ට වාර්ෂිකව රුපියල් 10,000ක මුදල් ආපසු පහසුකමක් හිමිවන අතර එය මාසිකව රුපියල් 2,500කි. එසේම Infinite කාඩ්පත් හිමියන්ට වාර්ෂිකව රුපියල් 20,000ක මුදල් ආපසු පහසුකමක් හිමිවන අතර, එය මාසිකව රුපියල් 5,000කි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සැම්සුන්ග් ඉන්දියා හි ජංගම දුරකතන ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ට උප සභාපති, රාජු පුලන්, “අපි දැක තිබෙනවා අපගේ පාරිභෝගිකයන්ගෙන් 70%ක් දෙනා මාස 12ක කාලයකදී තමන්ගේ ජංගම දුරකතන යාවත්කාලීන කරනවා. එතැනදී මේ සැම්සුන්ග් ක්‍රෙඩිට් කාඩ්පත ඔවුන්ට පහසුවක් වේවි. ඒ හරහා ඔවුන්ට තමන් අසීරුවෙන් ඉපැයූ මුදල් ආරක්ෂා කරගන්න අවස්ථාවක් හිමි වෙනවා. ඒ වගේම අලුත් උපාංගයක් මිලදී ගන්න හැකි වෙනවා. මෙවැන්නක් මේ කර්මාන්තය තුළ හඳුන්වාදුන් පළමු අවස්ථාව මෙයයි.” යනුවෙන් පවසයි.

Visits: 102