LMD අනුව 2021/22 දී ආදායමෙන් පළමු තැන EXPO – ලාභය අතින් පළමු තැන LOLC

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පුවත් සඟරාවක් වන LMD සඟරාව මගින් ප්‍රසිද්ධියට පත් කරන ලැයිස්තුගත සමාගම් වර්ගීකරණය (LMD 100) යටතේ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ඉපෑයූ ආදායම් අතින් අංක එකේ සමාගම බවට එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම නම් කෙරී ඇතැයි පවසයි.

සෑම වසරකදීම LMD සඟරාව මෙම LMD 100 ප්‍රකාශනය විශේෂ සංස්කරණයක් ලෙස නිකුත් කරන අතර මීළග සංස්කරණය ලබන ජනවාරි මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ පළමු සමාගම් 12 පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් එම සඟරාව මේ කරුණු සඳහන් කර සිටියි.

සඟරාවට අනුව මෙම මූල්‍ය වර්ෂය තුළදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම රැස් කරගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 694 ඉක්මවා තිබේ. මෙය පෙර මූල්‍ය වර්ෂයේදී සමාගම රැස් කරගත් පිරිවැටුම හා සැසඳීමේදී 217%ක වර්ධනයක් බවත් පවසයි.

මේ අතර මෙම වර්ගීකරණයේ දෙවැනි ස්ථානය රුපියල් බිලියන 338ක් හිමි කරගත් හේලිස් පීඑල්සී සමූහය වෙත හිමිව තිබේ. එසේම එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 224ක ආදායමක් හිමි කරගනිමින් තෙවැනි ස්ථානයේ පසුවෙයි.

එසේම මෙම වර්ගීකරණයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන සඳහා පිළිවෙලින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ කාර්සන්ස් කුම්බර්බැච් පීල්සී යන සමාගම් නම් කෙරී තිබේ.

මේ අතර ලැයිස්තුගත සමාගම් අතරින් 2021/22 මූල්‍ය වර්ෂයේදී වැඩිම ලාභයක් ලැබූ සමාගම් වර්ගීකරණයේ පළමු තැන දිනා ගැනීමට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සමත්ව තිබේ. එය රුපියල් බිලියන 77ක ලාභයකි. එහි දෙවැනි ස්ථානය රුපියල් බිලියන 72.8ක ලාභයක් හිමි කරගත් එක්ස්පෝ ලංකා වෙත හිමිව තිබේ.

එසේම ඉහළම ලාභ ලැබූ තෙවැනි සමාගම ලෙස බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී නම් කෙරී තිබේ. එහි සිව්වැනි සහ පස්වැනි ස්ථාන පිළිවෙලින් බ්‍රවුන් සහ සමාගම හා හේලිස් පීඑල්සී වෙත හිමිව ඇත.

“මේ ආසන්නතම මුල් සමාගම් 12 වර්ගීකරණය මගින් තහවුරු වෙනවා ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් තවදුරටත් මේ ලැයිස්තුගත සමාගම් හි ඉදිරියෙන්ම සිටින බව.” යනුවෙන් LMD සඟරාව මෙහිදී පවසයි.

Visits: 235