අගෝස්තු මාසයේ උද්ධමනය 70.2%ක් දක්වා ඉහළට

මෙරට ජතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී 70.2%ක් ලෙස සටහන්ව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය ජූලි මාසයේදී පැවැති 66.7%ක උද්ධමනය හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළ යාමකි.

මෙහිදී උද්ධමනය ඉහළ යාම සඳහා ප්‍රධානම වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී තිබේ.

ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේදී පැවැති 82.5%ක සිට අගෝස්තු මාසයේදී 84.6%ක් දක්වා ඉහළ ගොස් ඇත. එහිදි නැවුම් මත්ස්‍ය, බිත්තර, බිස්කට් සහ පළතුරු මිල ගණන් ඉහළ ගොස් ඇත. එහෙත් පරිප්පු, සහල් සහ සීනි මිල ගණන්වල පහළ යෑමක් දැකගත හැකි වී ඇත.

එසේම ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේදී පැවැති 52.4% සිට අගෝස්තු මාසයේදී 57.1%ක් දක්වා ඉහළ ගොස් ඇත. එහිදී නිවාස, ජලය, විදුලිය සහ ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලිය, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ භූමිතෙල්), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ, ගෘහ ඒකක නඩත්තු (සබන්),හා විවිධ භාණ්ඩසහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යාමක් සිදුව තිබේ. එසේම ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු) උප කාණ්ඩයෙහි සැලකිය යුතු පහළ යෑමක් අගෝස්තු මාසයේදී වාර්තා වී ඇත.

Visits: 55