ශ්‍රී ලංකා – රුසියා මිත්‍රත්ව උළෙල සැප්. 23 දා කොළඹ මහජන පුස්තකාලයේදී

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 65ක් සපිරීම නිමිත්තෙන් කොළඹ රුසියානු මන්දිරය මගින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022‘ අනිද්දා (23දා) කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එදින පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන මෙම ‘ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022‘ දී රුසියානු සංස්කෘතිය, රුසියානු භාෂාව, රුසියානු තාක්ෂණය, රුසියානු දේශපාලනය ඇතුළුව රුසියාව සම්බන්ධ බොහෝ දේ ප්‍රදර්ශනය කෙරෙන බව එහි සංවිධායකයෝ පවසති. ඒ අනුව ‘රුසියාවම කොළඹට‘ යන තේමාවෙන් මෙවර වැඩසටහන සංවිධානය වී තිබේ.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන  මෙම ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022 සඳහා පැමිණෙන පිරිස සඳහා රුසියානු ආහාර, රුසියානු නර්තන අවස්ථා, මෙන්ම රුසියානු චිත්‍රපට දෙකක් නැරඹීමේ අවස්ථාවන්ද උදා වෙයි. එහිදී දරුවන් සඳහා වෙන් වූ සිනමා පටයක් මෙන්ම චිත්‍ර වැඩමුළුවක් සහ චෙස් වැඩමුළුවක්ද පැවැත්වෙයි.

මේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යාපන සහ මහජන සම්බන්ධතා නිලධාරිනී වෙනුරිකා ජයසිංහ මහත්මිය, “මෙම ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022 දී අපි රුසියානු භාෂාව හැදෑරීමට උනන්දුවක් දක්වන පිරිස සඳහා වන වැඩමුළු කිහිපයක්ම සංවිධානය කර තිබෙනවා. ඒ වගේම රුසියාවේ මොස්කව් නුවර ලුලුම්බා විශ්වවිද්‍යාලය තුළ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දෙන ඔලිම්පියාඩ් පරීක්ෂණයකුත් මේ ප්‍රදර්ශනය අතරවාරයේදී 23 වැනිදා දහවල් 1.00ට පවත්වනවා. මෑතකදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඊට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන්ට ලුලුම්බා විශ්වවිද්‍යාලයේ පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයක් සඳහා තෝරා ගන්නවා.” යනුවෙන් පවසා සිටියාය.

මෙම ‘ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022‘ පිළිබඳ වැඩිදුර තොරතුරු කොළඹ රුසියානු මන්දිරයේ ෆේස්බුක් පිටුවෙන් (www.facebook.com/russianhouse.colombo) දැන ගත හැකිය.

Visits: 75