සතියකට දින හතරක සේවා කාලයක් සඳහා බහුතර සමාගම්වල කැමැත්ත

බ්‍රිතාන්‍ය තුළ හඳුනාගත් සමාගම් කිහිපයක් සඳහා අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කෙරුණු සතියකට දින හතරක සේවා කාලය පිළිබඳ සැලසුම වෙනුවෙන් බහුතර සමාගම්වල කැමැත්ත හිමිව ඇතැයි වාර්තා වෙයි.

අධ්‍යයනයක් ලෙස මාස හයක කාලයක් එම සමාගම් තුළ සතියකට දින හතරක සේවා කාලයක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව මේ සමාගම් 10කින් 09ක්ම මෙම මාස හයක අත්හදා බැලීමේ කාලයෙන් පසුව ඉදිරියටත් සතියකට දින හතරක සේවා කාලය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.

බ්‍රිතාන්‍යයේ බොස්ටන් විද්‍යාලය සහ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාල සහයෝගිතාවයෙන් මෙම අධ්‍යයනය සිදු කෙරිණි. එහිදී ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් වන  4 Day Week Global නම් ආයතනයත් Autonomy නම් බුද්ධි මණ්ඩපයක් හා එක්ව ඊට දායකත්වය ලබා දුනි.

මෙම අධ්‍යයනය යටතේ නගරයක මත්ස්‍ය අලෙවි සැලක සිට සිල්ලර වෙළෙඳ සැල්,තාක්ෂණික, ආහාර සහ ආගන්තුක සත්කාර ඇතුළු විශාල පරිමාණයේ සමාගම් මෙන්ම බැංකු ඇතුළු සංවිධාන 70කට අධික ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු රැස් කරගෙන තිබේ.

මෙහිදී අධ්‍යයනයට සහභාගි වූ සමාගම් අතරින් 88%ක ප්‍රතිශතයක්ම මෙම නව ක්‍රමවේදය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කෙරුණු බව පවසා ඇත. එසේම 86%ක ප්‍රතිශතයක් මෙම අත්හදා බැලීම අවසන් වූ වහාම සිව් දින සේවා කාලය වෙත යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් පවසා තිබේ.

මේ අතර සමාගම් අතරින් 46%ක්ම දක්වා ඇති ආකාරයට මෙම සිව් දින සේවා කාලය තුළදී සේවකයන්ගෙන් ලැබුණු ඵලදායිතාව, දින පහක සාමාන්‍ය සේවා කාලය හරහා ලැබුණු ඵලදායිතාවට සමාන බවත් සඳහන් ව තිබේ.

එසේම මෙම අත්හදා බැලීම යටතේ බැංකු කාර්ය මණ්ඩලය වෙත දැනට දින පහක් පුරා පැය 37.5ක් තුළ සිදු කරන කටයුතු එම වැටුපටම දින හතරක සේවා කාලයක පැය 34කදී සිදු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව එහිදී 92%ක ප්‍රතිශතයක් තමන් සේවා කරන ක්‍රමය වෙනස් කර සති අන්තයේ දින තුනක නිවාඩුවක් ගත කිරීමට උනන්දු වී තිබේ. එසේම 91%ක ප්‍රතිශතයක් තමන් සිදුකළ යුතු සියලුම කටයුතු එම දින හතර තුළදී සිදු කිරීමට වගබලා ගෙන ඇතැයිද මෙම වාර්තාව සඳහන් කරයි.

Visits: 168