“සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදානි සමාගමට ලබාදුන් තාවකාලික අනුමැතිය නීති විරෝධියි” – CEB කියයි

ඉන්දියාවේ අදානි සමූහයට අයත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත පූනරීන් ප්‍රදේශය ආශ්‍රිතව සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ලබා දී ඇති තාවකාලික අනුමැතිය නීතිවිරෝධී බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර මහතා විසින් කරුණු දැක්වීමක් සිදු කර තිබෙන බව අද පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

ඒ අනුව පූනරීන් ප්‍රදේශය ආශ්‍රිතව මෙගාවොට් 234ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා තාවකාලික අනුමැතියක් ලබාදීම 2007 අංක 35 දරණ සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත උල්ලංඝණය කිරීමක් සිදුව ඇතැයිද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර පසුගිය ජූලි 07 වැනිදා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා විසින්ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු අනුමැතියක්ද අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත නිකුත් කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස එම ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්වයන් වෙත දැනුම්දීමක්ද සිදු කර ඇත. කෙසේ වෙතත් මෙම අනුමැතියද නීතිවිරෝධී බව ලංකා විදුලි බල මණ්ඩලය පවසන බව පුවත්පත වැඩිදුරටත් පවසයි.

මෙලෙස මූලික අනුමැතියක් හිමි කරගැනීම මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු වඩාත් වැදගත්ම කොන්දේසියක්ද වෙයි. එහෙත් ඒ සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සඳහන් වෙයි.

2007 අංක 35 දරන සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනතට අනුවද, මෙය සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ලබා දෙන ‘තාවකාලික අනුමැතියක්‘ පමණක් වන අතර, ඒ සඳහාද ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ අනුමැතියක් හිමිවිය යුතුව ඇත.

මේ අතර පුවත්පත වෙත කරුණු දක්වා ඇති සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරියෙකු මේ දක්වා ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුව මගින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කිසිදු ‘තාවකාලික අනුමැතියක්‘ ලබාදී නොමැති බව සඳහන් කර සිටියි.

එහිදී මූලිකවම මෙම ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුව මගින් තාවාකාලික අනුමැතියක් සහතික කිරීමට පෙරාතුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් කොන්දේසි කිහිපයක්ම සම්පූර්ණ කළ යුතුව ඇතැයිද ඔහු පුවත්පත වෙත පවසා තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකළ යුතුව ඇති අංගසම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සම්පූර්ණ කළ යුතුව ඇති නමුත් මේ දක්වා අධිකාරිය මගින් එවැන්නක් සිදුකළ නැතැයිද පැවසෙයි.

මේ අතරතුරදීම, ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ අනුමැතියට පෙරාතුව, මෙවැනි දැවැන්ත බලශක්ති ව්‍යාපෘති හරහා නිපදවෙන විදුලිබලය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන්ද වාර්තාවක් ඉල්ලීම සිදුකළ යුතුව ඇත. ඒ හරහා මෙවැනි දැවැන්ත විදුලියක් ජාතික පද්ධතිය වෙත එකතු කරගැනීමේ තාක්ෂණික හැකියාව, පද්ධතියේ සබඳතාව සහ සම්ප්‍රේෂණ මාර්ගයේ ධාරිතාව යනාදිය එහිදී විමසා බැලේ.

එහෙත් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරියා පුවත්පත වෙත පවසා ඇති ආකාරයට මේ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම අතිශය සංකීර්ණ ඉංජිනේරුමය අධ්‍යයනයක් හරහා සිදුකළ යුතුව ඇත්තකි. නමිත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මේ දක්වාම මෙවැනි වාර්තාවක් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර නැත. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇති තාවකාලික අනුමැතිය නීති විරෝධී බව පවසා ඇත්තේ මේ කරුණු පදනම් කරගනිමින් බවත් ඔහු පවසා සිටියි.

“ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කියන්නේ ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ සාමාජිකයෙක්. ඒ නිසා ඔහු දන්නවා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙවැනි වාර්තාවක් සඳහා ඉල්ලීමක් සිදුකළේ නෑ කියලා.” ඔහු පවසයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු පුවත්පත වෙත අදහස් දක්වමින්, යම් ලෙසකින් මෙගාවොට් 500කට වඩා වැඩි සූර්ය හෝ සුළං බල ව්‍යාපෘතියක් ජාතික පද්ධතිය වෙත ඇද ගැනීම සඳහා සම්ප්‍රේෂණ ක්‍රියාවලියේ සංවර්ධන කටයුතු සිදුව නොමැති නම්, එවැනි ව්‍යාපෘතියක් සිදුකරන සමාගම වෙත මූලික අදියරේදීම යම් වන්දියක් ගෙවිමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවන බව පෙන්වා දෙයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එකඟතාවකට පත්වීම ලංකා විදුලි බල මණ්ඩලය අනිවාර්යයෙන්ම සිදුකල යුතුව ඇති දෙයක් බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් පුනරීන් ප්‍රදේශය ආශ්‍රිත මෙම විදුලිබලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමගින් වන අවබෝධතා ගිවිසුම වෙත අත්සන් තැබුණේ මේ වසරේ මාර්තු 11 වැනිදාය. මෙහිදී සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා එම සමාගම යොදවන ආයෝජනය ඩොලර් මිලියන 442කි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (COPE) මගින් අනාවරණය කර ඇති ආකාරයට අදානි සමාගම මගින් මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ මෙගාවොට් 600ක සුළං සහ සූර්ය බල ව්‍යාපෘති ඉදිකිරීම සඳහා යෝජනා කර තිබේ.

මෙහිදී පුවත්පත සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධකරගැනීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැත.

Visits: 132