SG Holdings සැප්. මුල් දින 15දී Expo කොටස් මිලියන 28ක් මිලදී ගැනීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි (EXPO.N0000) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 28,318,806ක්, සැප්තැම්බර් 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළදී මිලදී ගැනීමට ජපානයේ SH Global Pte. සමාගම කටයුතු කර ඇතැයි වාර්තා පවසයි.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි ප්‍රධානතම හවුල්කාර සමාගම මෙන්ම වැඩිම කොටස් හිමිකාරීත්වය සහිත සමාගම වන්නේද මෙම  SH Global Pte. සමාගමයි.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම එක්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ජපාන ජාතික හා යෝ විසින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

ඒ මහතා විසින් පසුගිය අගෝස්තු මාසයේදීද සැලකිය යුතු EXPO කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු යොදා තිබුණි.

වාර්තාවලට අනුව සැප්තැම්බර් මාසයේ පළමුවැනිදා කොටස් 1,478,896ක්, දෙවැනිදා කොටස් 2,700,000ක්, පස්වැනිදා 2,700,000ක්, හය වැනිදා කොටස් 150,000ක්, හත් වැනිදා 10,100,000ක්, අට වැනිදා 3,259,910ක්, දොළොස් වැනිදා 300,000ක්, දහතුන් වැනිදා 300,000ක්, දහහතර වැනිදා 3,200,000ක් සහ පහළොස් වැනිදා 4,130,000ක් ලෙස මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව මිලදී ගෙන ඇති සමස්ත කොටස් සංඛ්‍යාව 28,318,806ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී රුපියල් 219.00ත් 235.00ත් අතර මුදලකට මෙම කොටස් අලෙවිය සිදුව තිබේ. ඒ අනුව මෙම මෙලෙස මිලදී ගත් කොටස්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 6.4ක් (6,428,368,962ක්) ලෙස ගණන් බැලේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කොටසක වටිනාකම රුපියල් 226.75ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊට පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 226.25ට සාපේක්ෂව ශත 50ක එනම් 0.22%ක ඉහළ යාමකි.

Visits: 236