මෙරට තුළ Subway ආපනශාලා ජාලයත් Softlogic Holdings යටතට

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම, මෙරට තුළ Subway ආපනශාලා ජාලය පවත්වාගෙන යාමේ වරලත් හිමිකාරීත්වය පවතින Subway Development (Priveta) Limited සමාගම සමගින් ඒකාබද්ධ හවුල්කාරී සහ කළමනාකරණ එකඟතාවකට පිවිසුනු බව පවසයි.

ඊයේ (16දා) මෙම එකඟතාව වෙත අත්සන් තැබීම සිදුව තිබේ. මෙහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙනුවෙන් මෙම එකඟතාවට පිවිසීම, එහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පෞද්) සමාගම මගින් සිදු කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ Subway අවන්හල් ජාලයේ වරලත් හිමිකාරීත්වය සහ දැනට එහි ක්‍රියාත්මක අලෙවි මෙහෙයුම් සියල්ල සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පෞද්) සමාගම යටතට පත්වන බවත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම Subway යනු ඇමෙරිකා එක්සත් ජනපදය පාදක කරගත් එක් තනි සන්නාමයක ආපනශාලා ජාලයක් වන අතර, එය වර්තමානයේ වේගයේ ව්‍යාප්ත වන බහුජාතික ආහාර ආපනශාලා වරලත් අලෙවි හිමිකාරීත්වයක් ලෙසත් සැලකෙයි. මෙහිදී මූලිකවම සබ්මැරීන, සැන්ඩ්විචස්, ව්රැප්ස්, සැලඩ් සහ පාන වර්ග මෙම Subway ආපනශාලා ජාලය හරහා අලෙවි කරයි.

මෙම එකඟතාවට පිවිසීමත් සමගින්ම සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පෞද්) සමාගම මගින් සිය සිල්ලර අංශය සහ සොෆ්ට්ලොජික් සමූහය විසින් මෙරට තුළ මෙහෙයුම් සිදු කරන ජාත්‍යන්තර ආපනශාලා වරලත් හිමිකාරීත්වය තවත් ඉහළ යනු ඇතැයි සඳහන් වෙයි.

අද වනවිට Burger King, Basking-Robbins, Poppeyes, Delifrance සහ Crystal Jade යන ජාත්‍යන්තර  ආපනශාලාවන්හි මෙරට තුළ වරලත් හිමිකාරීත්වය පවතින්නේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පෞද්) සමාගම වෙතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආපනශාලා දාමයන්හි වඩාත් පුළුල් සංයුතියක් ඉදිරිපත් කරමින් දේශීය පාරිභෝගිකයන්ගේ රස නහර පිනවීමට සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (පෞද්) සමාගම ගත් කැපි පෙනෙන පියවරක් ලෙසද මෙම එකඟතාවට පිවිසීම හඳුන්වන බවත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 158