යුරෝපයේ ඉල්ලුම ඉහළ යාමත් සමග ද්‍රව ස්වාභාවික වායු (LNG) මිල ගණන් ඉහළට

ලෝක වෙළෙඳ පොළෙහි ද්‍රව ස්වාභාවික වායු (LNG) මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙරට වේලාවෙන් අද (14දා) පෙරවරු 10.45 වන විට ලෝක වෙළෙඳ පොළේ  LNG මිල ගණන් ඩොලර් 8.40ක් දක්වා ඉහළ නැග තිබුණි. සතියකට පෙරාතුව එනමු සැප්තැම්බර් 07 වැනිදා මෙම අගය ඩොලර 7.8ක් ලෙස සටහන්ව තිබුණි.

මෙහිදී මූලිකවම යුරෝපයෙන් මෙම LNG සඳහා ලැබෙන ඉහළ ඉල්ලුම මෙලෙස මිල ගණන් ඉතාමත් වේගයෙන් ඉහළ යාමට හේතුව වී තිබේ. රුසියාව මගින් යුරෝපය වෙත සැපයෙන බලශක්ති නිෂ්පාදන සැපයුම් සීමා කිරීමත් සමගින්ම එළැඹෙන සීත ඍතුවේදී සිය ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් යුරෝපය මෙලෙස LNG වෙත යොමුව තිබේ.

ඒ අනුව දැන් සිටම යුරෝපා රාජ්‍යයන් මෙම LNG තොග රැස් කරගැනීමේ නිරතව සිටින අතර, එහිදී මූලිකවම එක්සත් ජනපදයෙන් මෙම LNG ආනයනය සිදු කරයි. එහෙත් එරට සිට යුරෝපය වෙත පවතින දුර දිගුවීමත්, නෞකා මගින් ප්‍රවාහනය අනිවාර්යය වීමත් ගැටලුවක් වී ඇත. ඒ අනුව යුරෝපය මේ වනවිට මැදපෙරදිග කලාපීය රටවලින්ද සිය LNG අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොමුව තිබේ.

එසේම යුරෝපා කලාපයෙන් හිමිවන මෙම අධික ඇනවුම් සඳහා සැපයුම් සැලසීමට ප්‍රමාණවත් නෞකා තමන්ට නොමැති බවත් එම LNG නිෂ්පාදන සමාගම් සඳහන් කර තිබේ.

මෙම තත්ත්වයත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ LNG මිල ගණන් මෙම වසර ආරම්භය හා සැසඳීමේදී 15 ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Visits: 89