ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් සැපයීමට හැකි බව බ්‍රවුන්ස් සමාගම රජයට කියයි

නොරොච්චෝලේ පිහිටි ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 4.5ක සැපයුමක් සිදු කිරීමට තම සමාගම් එකමුතුවට හැකි බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බව පවසයි.

පසුගිය සැප්තැම්බර් 08 වැනිදා එම සමාගම මගින් ලිඛිතව මේ පිළිබඳව එම අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සඳහන් කරයි.

එම සමාගම සිය සමාගම් එකමුතුවේ හවුල්කරුවා ලෙස පත් කරගත් මහජන චීන සමූහාණ්ඩුවේ ලියාපදිංචි චයිනා මැෂිනරි ඇන්ඩ් ඉන්ජිනියරිං කෝපරේෂන් (CMEC) සමාගම සමගින් එක්ව මෙලෙස නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 4.5ක ප්‍රමාණයක් සැපයීම සඳහා පසුගිය අගොස්තු 22 වැනිදා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

මෙය කැබිනට් මණ්ඩල තීරණයකට අනුව එය සිදු වුණු බවත්, එය ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා වන අදාළ මිලදී ගැනීම චීන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් ප්‍රසම්පාදන යෝජනාවක් අනුව සිදු වුණු බවත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මෙලෙස තෝරාගත් ලංසුකරුවා විසින් සිය කාර්යසාධන බැඳුම්කරය ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් සමගින්ම එම ගල් අඟුරු ආනයනය කිරීමේ ගැටලුවක් මතුව තිබුණු බවත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 08 වැනිදා එම සමාගම මගින් මෙලෙස විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය වෙත ලිපියක් මගින් යවමින් සිය සමාගම් එකමුතුවට මෙම ගල් අඟුරු සැපයුම අඛණ්ඩව සිදු කිරීමට හැකියාව පවතින බවත්, ඒ හරහා රට වෙත දිගටම ගල් අඟුරු සැපයිම සුරක්ෂිත කළ හැකි වනු ඇති බවත් සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කළ යෝජනාව ප්‍රකාරව එම සමාගම් එකමුතුව මගින් ලංකා ගල් අඟුරු සමාගම වෙත සඳහන් කර තිබුණේ අදාළ ආනයනය සඳහා ගෙවිය යුතු මුදලින් 50%ක් රුපියල් වටිනාකමින් ගෙවීමටත්, ඉතිරි 50%ක මුදල වසර පහක කාලයක් ඇතුළතදී ගෙවීමට බවත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යළි මතක් කර දෙයි.

එසේම අදාළ මිල ගණන් මෙම සැපයුම සඳහා තෝරාගත් සමාගම ඉදිරිපත් කළ මිල ගණන්වලට වඩා පහළ බවත් සමාගම පවසයි.

ඒ අනුව තමන් විසින් පසුගිය අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කළ යෝජනාවේ ඇතුළත් වගන්ති සහ කොන්දේසි ප්‍රකාරව අදාළ බලධාරීන් සමගින් මේ සම්බන්ධ එකඟතාවකට පිවිසීමටත්, ඒ හරහා රට වෙත අවශ්‍ය ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරිමටත් කටයුතු කරන බවත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 441