ශ්‍රී ලංකාවේ නේර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙන බව එම තානාපති කාර්යාලය නිවේදනයක් මගින් සඳහන් කරයි.

නෝර්වේ රජය විසින් විදේශයන්හි පවතින එරට තානාපති කාර්යාල ජාලය ආශ්‍රිතව ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ගෙන ඇති පියවර යටතේ මෙම තීරණය ගෙන තිබේ.  මේ සම්බන්ධයෙන් පසුගියදා නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

එහි සඳහන් වන පරිදි, යුරෝපයේ සහ වෙනත් රටවල ක්‍රියාත්මක වන නෝර්වේජියානු තානාපති කාර්යාල කිහිපයක් සවිගැන්වීමද ඊට ඇතුළත් වේ. මෙම ප්‍රතිසංස්කරණයෙහි කොටසක් වශයෙන් කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයද ඇතුළුව නෝර්වේජියානු තානාපති කාර්යාල පහක් 2023 ජූලි මස අග වන විට ස්ථිර වශයෙන් වසා දැමීමටද තීරණය කර තිබේ. දැනට මාලදිවයින සම්බන්ධ වගකීම්ද පැවරී ඇත්තේ කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයටය.

නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමූවද දෙරට අතර මිත්‍රශීලී හා ඵලදායී සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය ඉදිරියටත් කැප වී කටයුතු කරනු ඇතැයි තානාපති කිරියාලය පවසයි.

එමගින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත්, සුහදශීලී සහ දිගු කාලීන ද්විපාර්ශ්වික තානාපති සබඳතා අඛණ්ඩව පවත්වා ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ආවරණය කරනු පිණිස කලාපයේ පිහිටි වෙනත් නෝර්වේජියානු තානාපති කාර්යාලයකට අනුයුක්තව තානාපතිවරයෙකු සහ දූත මණ්ඩලයක් වෙත අදාළ වගකීම් පැවරීමට නෝර්වේ රාජ්‍යය අදහස් කර ඇතැයිද සඳහන් වෙයි.

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමේ සැලසුම පිළිබඳ පුවත දැනුම් දීමට සිදු වීම ගැන තමන් කණගාටුවට පත් වන බව’ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ගරු ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය සඳහන් කරයි. ඇය ප්‍රකාශ කරන්නේ “මෙය, දින දින වෙනස් වන භූ-දේශපාලනික පරිසරය සමග ගනුදෙනු කිරීමේදී නෝර්වේජියානු විදේශ සේවාව කෙසේ ප්‍රතිසංස්කරණය කළ යුතුද යන්න හඳුනා ගනු පිණිස අනුගමනය කරන ලද පුළුල් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන අතර, මෙය හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂයෙන් අදාළ වන තීරණයක් නොවන බවත්, ශ්‍රී ලංකාව සමග අපට ඇති ඉතාම සුහදශීලී ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමට නෝර්වේ රාජ්‍යය කටයුතු කරනු ඇති බවත්” ය. එමෙන්ම, ‘මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් අප වෙතින් ලැබෙන සහයෝගයද ඉදිරියටත් නොවෙනස්ව හිමි වනු ඇති’ බවද ඒ මහත්මිය සඳහන් කරයි.

නෝර්වේ රාජ්‍යය 1960 ගණන්වල සිටම ශ්‍රී ලංකාව වෙත ආධාර ලබා දීමෙහි නිරතව සිටියි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම්ලාභී රටක තත්ත්වයට පත් වීමත් සමග ශ්‍රී ලංකාව වෙත ලබා දුන් නෝවේජියානු ආධාරද ක්‍රම ක්‍රමයෙන් අඩු වී තිබේ.

එහෙත්, රැකියා නියුක්තිය හා ආහාර සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම වෙනුවෙන් සහාය ලබා දීම වැනි දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දීර්ඝ කාලීන සංවර්ධන වැඩසටහන් සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දීමට නෝර්වේ රාජ්‍යය කටයුතු කරනු ඇත. 2021 දී නෝර්වේජියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සංවර්ධන ආධාරවල මුළු එකතුව නෝර්වේජියානු ක්‍රොන් මිලියන 59.7ක් (ආසන්න වශයෙන් රු. මිලියන 2150ක්) වූ අතර, ඉන් ක්‍රොන් මිලියන 21ක්ම (ආසන්න වශයෙන් රුපියල් මිලියන 756ක්) තානාපති කාර්යාලය හරහා ලබා දුන් ආධාර විය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන හරහා නෝර්වේ රාජ්‍යය ක්‍රොන් 13ක මුළු වටිනාකමකින් යුතු (ආසන්න වශයෙන් රුපියල් මිලියන 490ක්) මානුෂීය ආධාර ශ්‍රී ලංකාව වෙත ලබා දීමටද පියවර ගත්තේය.

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමෙන් අනතුරුව කලාපයේ පිහිටි වෙනත් නෝර්වේජියානු තානාපති කාර්යාලයක් හරහා ශ්‍රී ලංකාව වෙත තානාපති සේවා ලබා දෙනු ඇත. මේ වන විටත් ඉන්දියාවේ නව දිල්ලි නගරයේ වීසා මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට අදාළ නෝර්වේජියානු වීසා අයැදුම්පත් එහි සිට හසුරුවනු ලැබේ. වීසා අයැදුම් කිරීම කොළඹ පිහිටි VFS කාර්යාලය ඔස්සේ සිදු කළ හැක.

1976 සිට ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සඳහා වන නෝර්වේජියානු ආයතනයක් (NORAD) ක්‍රියාත්මක වූ අතර ඉන් අනතුරුව 1996 වසරේදී කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව තුළ නෝර්වේ තානාපති කාර්යාලයක් පැවතීමේ අවශ්‍යතාව මෙරට සාමය හා සහජීවනය වෙනුවෙන් නෝර්වේ රාජ්‍යය විසින් දරනලද ප්‍රයත්න හා සබැඳී ඇත.

Visits: 128