ජනපතිගේ පළමු විදෙස් සංචාරය එංගලන්තයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී එංගලන්තයේ සංචාරයක නිරත වනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ඒ අනුව මෙය ඔහු ජනපති ධුරයට පත්ව සිදු කරන පළමු විදෙස් සංචාරයද වෙයි.

ලබන සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සහභාගිවිමට ජනපතිවරයා මෙලෙස එංගලන්තය බලා පිටත්වීමට නියමිතව ඇත.

දෙවැනි එළිසබෙත් මහරැජිනගේ නායකත්වයෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි සාමාජිකයෙකු ලෙස ජනපතිවරයා මෙම අවස්තාවට සහභාගි වනු ඇතැයි සඳහන් වෙයි.

ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනපතිවරයා රැජිනගේ අභාවය පිළිබඳව සිය ශෝකය පළ කරමින්, එහි තබා ඇති රැජිනගේ අභාවය පිළිබඳ ශෝක සැමරුම් සටහන් ග්‍රන්ථයක සිය සටහන තැබීමක්ද සිදු කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියත් ජනපතිවරයා හමුවී කතාබස් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

Visits: 45