අශෝක් ලේලන්ඩ් කර්මාන්තශාලාවේ රඳවා තිබූ පාසැල් බස් රථ 80ක් මිලදී ගෙන ධාවනයට එක් කිරීමට යයි

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසැල් සිසුන් ප්‍රවාහනය සඳහා දැනට වසර හතකට පමණ පෙරාතුව මෙරටට ආනයනය කර, මිලදී ගැනීමේ තාක්ෂණික කමිටු අනුමැතිය හිමි නොවීම නිසා සිය කර්මාන්තශාලාවේ රඳවා තිබූ පාසැල් බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දිනයේදී හෝමාගම, පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් කර්මාන්තශාලාව වෙත ගොස් මෙම බස් රථ නිරීක්ෂණය කර තිබේ. මෙහිදී පාසැල් බස් රථ 80ක් එහි පවතින සොයා ගෙන ඇත.

මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් තවමත් සමාගමේ පනාගොඩ කර්මාන්තශාලා සංකීර්ණය මෙම බස් රථ ගාල් කොට තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් ආනයනය කර ඇති මෙම බස් රථ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ධාවනයේ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ද ලබා ගෙන තිබේ.

ඒ අනුව බස්රථ වල වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් අඩකට මෙම බස් රථ ලබා දීමට සමාගම එකඟතාවය ද පළකර තිබේ. ඒ බස්රථ මෙරටට රැගෙන ආ කාලයේ පැවති විදේශ විනිමය අනුපාතයට බස් රථ ලබා දෙමිනි.

එසේම බස් රථ ධාවනයේ යොදවමින් ආදායම් උපයන අතර වසර හතරකින් එම මුදල් ගෙවීමේ පහසුව ලබාදීමටද සමාගම එකගතාවය පලකර තිබේ. මෙලෙස රටට ඉතාමත් වාසිදායක තීරණයකට වුවද බස්රථ මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුව යම් යම් හේතු පදනම් කරගනිමින් මෙම බස් රථ මිලදී ගැනීමට ගැනීම අනුමත කිරීම ප්‍රමාද කිරීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා පවසයි..

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සියයට සීයක් තහවුරු කරමින් බස්රථ වල සියලු අංග නිපදවා ඇති අතර ඒවායේ ආරක්ෂාව සහ නඩත්තුව පිළිබඳව අශෝක් ලේලන්ඩ් සමාගම සම්පූර්ණ වගකීමද භාරගෙන තිබේ.

ඒ අනුව මෙම කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිතුමා දැනුවත් කර සමාගමේ සහතික මත මෙම බස් රථ නියමු ව්‍යාපෘතියක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම මගින් අවශ්‍ය පාසල් වෙත ලබා දී පාසල් සේවය සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකශ කර ඇත.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමා, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුමා පිරිසක් ද එක්ව සිට ඇත.

Visits: 128