SLT-MOBITEL ‘The Arena’ නමින් නවෝත්පාදනය හා තාක්ෂණ අත්දැකීම් මධ්‍යස්ථානයක් විවෘත කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා ‘The Arena’ නමින් නවතම අත්දැකීම් මධ්‍යස්ථානයක් (Experience Centre) විවෘත කළේ ය.

ඩිජිටල් පරිවර්තනය ඔස්සේ ජනතාවගේ ජීවන රටාවන් වඩාත් යහපත් කිරීමට උපකාරී වන පෙරළිකාරී නව තාක්ෂණයන් හා සේවාවන් ජනතාවට හඳුන්වා දීම මෙහි අරමුණයි.

කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) මෙම අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.

“වර්තමාන ඩිජිටල් යුගයේ, නිවාස මෙන්ම ව්‍යාපාර තුළ නව්‍ය විසඳුම් භාවිතා කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යයි. ‘The Arena’ මධ්‍යස්ථානය තුළදී අපගේ ගනුදෙනුකරුවන්ට සහ ව්‍යවසායකයන්ට තම ජීවන රටාවන් අලුතින් නිර්වචනය කරන විසඳුම් සහ සේවාවන් අත්විඳීමට අවස්ථාව ලැබේවි. සුහුරු නවෝත්පාදන සහ නවීන තාක්ෂණය එකිනෙක මුසුවන මෙම මධ්‍යස්ථානය මෙරට තොරතුරු, සන්නිවේදන සහ දුරකථන සේවා කර්මාන්තයට පුරෝගාමී ආදර්ශයක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

මෙම මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරවලටත් නවීනතම තාක්ෂණය මගින් අත්විඳිය හැකි සුවිශේෂී ප්‍රතිලාභ පෙන්වා දීම සඳහා SLT-MOBITEL සහ BMICH එක්ව කටයුතු කරනු ඇත. ඩිජිටල් ජීවන රටා කලාප, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා වෙන් වූ කලාපයක් සහ විද්‍යුත් ක්‍රීඩා කලාපයක් ඇතුළු විවිධ කලාප මෙම මධ්‍යස්ථානය තුළ පිහිටුවා තිබේ. මේ ආකාරයට නවීන තාක්ෂණය මගින් සමාජයට සිදුවන යහපත පෙන්වා දීම සඳහා මෙරට තුළ පිහිටුවන ලද ප්‍රථම මධ්‍යස්ථානය මෙය වන අතර, Smart Home තාක්ෂණය, 5G අත්හදා බැලීම් සහ ස්මාර්ට් උපාංග ආදිය සහ ඒවා ක්‍රියාත්මකවන ආකාරය දැකබලා ගැනීමට මෙහිදී ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

Cloud, Digital Services, Networking, Internet, Data center, Cyber Security, Voice & Collaboration, Messaging, Entertainment & IOT, NFC, Software Development සහ Digital Marketing වැනි ක්ෂේත්‍ර රාශියකට අයත් විසඳුම් හා සේවා මෙම අත්දැකීම් මධ්‍යස්ථානය තුළ ප්‍රදර්ශනය කෙරේ. එබැවින් මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයටම නව අවස්ථා රාශියක් උදාකර දෙනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානය live streaming මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වේ.
eSports කලාපය තුළදී විද්‍යුත් ක්‍රීඩා ලෝලීන්ට PC සහ Console Gaming පහසුකම්, තරගාවලිවලට සහභාගී වීම, eSport පදනම් භාවිතා කිරීම සහ Data සේවා ආදිය සමග අධිවේගී සම්බන්ධතා පහසුකම් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

‘The Arena’ වෙත පැමිණ නවීන තාක්ෂණයේ මහිමය සිත් සේ අත්විඳින මෙන් SLT-MOBITEL සිය පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට ආරාධනා කර සිටී.

Visits: 64